දින කැලැන්ඩරයේ වැඩියෙන්ම සැමරුම් දින තියෙන මාසයක් තමයි ඔක්තොම්බර් මාසය කියන්නේ. ලෝක ළමා දිනයෙන් පටන් ගත්තම විවිධ සැමරුම් සමරන මේ ඔක්තොම්බර් මාසයේ අද දවස ඒ කියන්නේ ඔක්තොම්බර් 11 දා වෙන් වෙලා තියෙන්නේ ලොක්යේ ගැහැණු දරුවන් වෙනුවෙන්. සමහර විට මෙහෙම දවසක් ගැහැණු දරුවන් වෙනුවෙන් තියෙනවා කියලා ඇතැම් යුවතියන් දන්නෙත් නැතුව ඇති. හැඩකාරී අපි එක්ක වසර ගනණාවක් එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ දන්නවා හැඩකාරී ඔයා වෙනුවෙන් හැම මෙහොතක පෙනී ඉන්නවා කියලා. විශේෂයෙන්ම ඔයාගේ නොයෙක් අවශ්‍යතා, නෙක ගැටළු ගැන කථා කරන්න හැඩකාරී දෙවරක් හිතන්නේ නම් නෑ. ඉතිං අද ගැහැණු දරුවන්ගේ දවසේ යුවතියක් විදිහට එහෙමත් නැතිනම් ගැහැණු දරුවෙක් විදිහට හෝ ඔබ ගැහැණු දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයා දැන ගත යුතුම කරුණු කාරණා කිහිපයක් ගැන ඔයා එක්ක කතා කරන්න හැඩකාරී අපි තීරණය කළා.
ආරක්ෂාව තවත් කෙනෙක්ගෙන් අයදින්න එපා
අපේ සමාජයේ මතයක් නිර්මාණය වෙලා තියෙනවා කාන්තාවකට සමාජයේ සියලු දෙනාගේ ආරක්ෂාව හිමි විය යුතුයි කියලා. මෙය මතයක් කියලා හැඩකාරී අපි ඔයාට කිව්වම මේ ලිපිය කියවන ඔයාම හිතලා බලන්න මේ මතය අපේ රට තුළ කොතරම් ප්‍රායෝගිකද කියලා. කොහොමින් කොහොම වුණත් ගැහැණු දරුවෙක් එහෙමත් නැතිනම් යුවතියක් කුඩා කළ දෙමාපිය රැකවරණය යටතේත්, විවාහයෙන් පස්සේ සහකරුවා යටතේත්, මහලු වියේදී තම දුවා දරුවන් යටතේත් ජීවත් විය යුතුයි කියලා මතයක් සමාජය තුළින් ගොඩ නගා ගෙන තියෙනවා. නමුත් මෙකි මතය අපි හිතන තරම් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැඩකාරී අපි නම් ඔයාට මේ මතය නිවැරදියි කියලා කියන්නේ නැහැ. මොකද ආත්ම විශ්වාසය තියෙනවා නම් ඔයාට සමාජයේ විශේෂ රැකවරණයක් අවශ්‍ය වන්නේ නෑ. ඒත් අද කාන්තාවන්ගේ මනසට මෙකි මතය බලෙන් කාවද්දලා.
ආදරය ඉදිරියේ අනාථයෙක් වෙන්න එපා
හැඩකාරි ඔයාගෙන් පොදුවේ මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවොත් ඔයා මොකද කියන්නේ. ආදරය ඉදිරියේ වැඩි පුර අඬන්නේ බොලඳ වෙන්නේ කවුද කියලා ඇහැවොත් ගොඩක් දෙනෙක්ගේ පිළිතුර වෙන්නේ කාන්තාවන්. එහෙමත් නැතිනම් යුවතියන් කියන එක. හැඩකාරී වෙබ් පිටුවෙන් අපි හැමදාම ඔයාට යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න වැදගත් වෙන දේවල් කියලා දෙනවා කියලා හැඩකාරී අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයා හොඳින්ම දන්නවා. තරුණියක් එහෙමත් නැතිනම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි කියලා ඔයා දන්නවානේ. යොවුන් වියේදී කොල්ලෙක්ට ආදරට කරන්න. වැදගත්ම දේ සීමාවන් හඳුනා ගන්න. ආදරය හරියට තේරුම් ගන්න. හදවතට ටිකක් අඩුවෙන් වහල් වෙලා බුද්ධියෙන් හිතලා බලලා වැඩ කරන්න. අත්හරින්න බැරි විදිහට ආදරය කරන්න එපා. මුලින්ම හැඩකාරී ඔයාට සීමාවන් හඳුනා ගන්න කියලා කිව්වේ අන්න ඒ නිසායි. ඔයාට ආදරය කරන කෙනා ඔයාගේ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. ඔයාට ආදර කතාව ගොතාගෙන යන්න හැකියාව ලැබෙන්නත් නොලැබෙන්නත් පුළුවන්. ඒත් ආදරය ඉදිරියේ ඔයාගේ පෞර්ෂත්වය නැති කරගෙන ඔයාට ඔයාව වගේම ඔයාගේ දෙමාපියන්ට ඔයාව අහිමි කරන්න එපා. ආදරය කරලා අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සුදානම් වෙන්න එපා. ඔයා අම්මා කෙනෙක් නම් ඔයාගේ දියණිය එක්ක මේ වගේ දෙවල් කතා කරන්න පැකිලෙන්න එපා. දියණියක් වැඩිවියට පත් උනාම ඔයා අම්ම කෙනෙක් හැටියට ආදර සම්බන්ධතා ගැන විවෘතව කතා කරන්න.
ගැහැණුකම නිසා ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න එපා
ලෝකය ජය ගත්තේ පිරිමි පාර්ශ්වය විතරක් නෙමෙයි කියලා බයක් සැකක් සැතුව ඔයාට කියන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. මොකද දෙස් විදෙස් රටවල ලෝකයේම කතාබහට ලක්වුණු කාන්තා චරිත ඕනෑ තරම් තියෙනවා. ඒ කීර්තිය ඔවුන් ලබාගෙන තියෙන්නේ නොපසුබට උත්සාහ නිසා. ඉතිං ඔයාටත් විවිධ හැකියාවන්, උත්සාහයන් වගේම අවස්ථාවන් අඩුවක් නැතුව ලැබෙන්න පුළුවන්. ඉතිං ඔයා ගැහැණු ළමයෙක් එහෙමත් නැති නම් කාන්තාවක්නේ කියලා හිතලා ඉදිරියට ගමන් කරන්න තියෙන පාරවල් ඔයා විසින්ම වහ ගන්න එපා. ගැහැණු කම, කාන්තාවක් වී ඉපදීම අසතුටට පත් වෙන්න කාරණාවක් නෙමෙයි. ඉතිං සියලු බාධක, අභියොග ජයගෙන ඔයාට ඉස්සරහට යන්න හැකියාව, උත්සාහය තියෙද්දිත් කිසිම විටෙක ගැහැණු ළමයෙක් කියන හැගීම නිසා ජීවිතය අත් හරින්න එපා. මොකද ඒක ඔයා ඔයාටම කර ගන්න ලොකු පාඩුවක්. ඔබේ දියණියට මේ දේවල් කියා දෙන්න.
ඇත්ත කථා කරන්න බය වෙන්න එපා
අද අපේ සමාජයේ යථාර්ථය නිමේෂයකින් යට වෙලා අසත්‍ය්‍ය සමාජය තුළ ඉක්මනින් ස්ථාපිත වෙනවා. ඔයා කතාවටත් අහලා ඇතිනේ ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕන නෑ කියලා. ඉතිං සමාජයේ කිසියම් තැනක වැරැද්දක් වෙනවා නම්, අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් නොබියව කථා කරන්න. එය ඔයාට විතරක් නෙමෙයි සමස්ථ ගැහැණු දරුවන් වෙනුවෙන් කරනා කැප කිරීමක් විය හැකියි. ඔයාට සමාජයේ යම් අසාධාරණයක් වෙනවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයා ගැහැණු ළමයෙක් කියලා ඕන දෙයක් ඉවසා දරාගෙන ඉන්න එපා. මොකද ඔයාට ඊළඟ වතාවේ ඊටත් වැඩියෙන් අසාධාරණයක් විය හැකියි.
තමන්ගේ හැකියාවන් යටපත් කර ගන්න එපා
දැනුම, කුසලතා වගේම හැකියාවන්, දක්ෂාතාවන් අඩුවක් නැතුව ගැහැණු දරුවන්ට ලැබෙනවා. ඇතැම් දරුවන් පුරුදු පුහුණු කිරීම තුළ තමන් ළඟ නොතිබුණු දක්ෂතා වැඩි දියුණු කර ගන්නවා. ඒත් ගොඩක් වේලාවට දක්ෂතාවන්, හැකියාවන් තියෙන දරුවන් ලැජ්ජාව හා බිය වැනි හේතු සාධක නිසා තමන්ගේ හැකියාවන් යටපත් කරගෙන ඉන්නවා. හැඩකාරී අපිට අනුව නම් ඒ විදිහට මේ තරඟකාරී ගමන යන්න ටිකක් විතර අසීරුයි. බාධක බිඳ දමාගෙන ඉදිරියට යන්න. ගැහැණු දරුවෙක් වීම ඔයාගේ ගමන යන්න බාධකයක් නෙමෙයි. ඔයාගේ හැකියාවන්, දක්ෂතාවන්ට වෙන්වු වේදීකාවක් තියෙනෙවා නම් ඒ වේදීකාවට ගොඩ වෙන්න දෙවතාවක් හිත්නේ නැතුව.
ගෞරවය ආරක්ෂා කර ගන්න
ගෞරවය එහෙමත් නැතිනම් ගරුත්වය කියන දේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා. ඔයාගේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ මේ කියන කරුණත් ඔයා තුළින් ආරක්ෂා වුණොත් පමණයි. මුලින්ම ඔයා අන් අයට ගරු කරන්න. එවිට පෙරළා ඔවුන් ඔබට ගරු කරාවී. ආදරය කරාවී. ඔයාගේ ජීවිතයේ ගරුවත්යට හානී වෙන දේවල්වලින් හැකිතාක් ඈත් වෙලා ඉන්න. ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක් ඔයාගේ ගරුත්වයට හානී වෙන යම් දෙයක් කෙනෙක් හෝ කණ්ඩායමක් සිදු කරනවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වෙනුවෙන් කතා කරන්න. මොකද අන් හැදේටම වඩා තමන්ට තමන්ව වටිනා නිසා.
ඉතිං ඔක්තොම්බර් මාසයේ 11 අද දවස ඔයා වෙනුවෙන් පමණයි වෙන් වෙලා තියෙන්නේ. ඒ දවසෙනුත් දැනටමත් හෝරා කිහිපයක්ම ගත වෙලා අවසන්. ගැහැණු ළමුන්ගේ දිනය සමරන අද වගේ දවසක පමණක් සුභාශිංසන එකතු කරන්න තරම් හැඩකාරී අපි ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. මොකද හැඩකාරී අපිට ඔයා වෙනුවෙන් කතා කරන්න අද වගේ එක දවසක් පමණක් ප්‍රමාණවත් නොවන නිසා.