එක්තරා ගඟක් අසල කුඩා ගම්මානයක් තිබ්බා. ඒ ගමේ හැමෝම සතුටින් තමයි ජීවත් වුනේ. ඒ වගේම ඒ ගමේ පල්ලියේ නිතිපතා යාච්ඥා කිරීම් ද පැවැත්වුණා. ගමේ හැමෝම ඒවාට ද අනිවාර්‍යෙන්ම සහභාගී වුණා. ටික කාලෙකින් මෝසම් කාළගුණ සමය ආරම්භ වුණු නිසා ඒ ගමටත් අධික වර්ෂාවක් හැලෙන්න පටන් ගත්තා. ඒ එක්ක ගඟේ පිටාර ගලන්න පටන් ගත්තා. ඒ නිසා හට ගත්ත ගංවතුර ද ටිකින් ටික ගමට ඇතුළු වුණා. ගංවතුර ගලන්න පටන් ගන්නවාත් එක්ක ගමේ ජීවත් වුණු හැම කෙනෙක්ම තම තමන්ගේ නිවෙස්වලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයට යන්න පටන් ගත්තා.
මේ අතරතුරදී ගමේ හිටපු එක ගැමියෙක්ට ගමේ පල්ලිය ගැන මතක් වෙලා ඉක්මණින් ඒ පැත්තට දුවලා ගියා. ඔහු ඉක්මනින් පූජකවරයාගේ කාමරයට දුවලා ගිහින් ගොස් ඔහුට මෙහෙම කිව්වා. “පූජකතුමණි, ගංවතුර අපේ ගෙවල් වලට ඇතුළු වෙන්න පටන් අරන් තියෙන්නේ. වතුර මට්ටම ඉක්මනින් ඉහළ යනවා. පල්ලියගාවට ද ජලය ඇතුළු වෙන්න පටන් ගනියි ඉක්මනටම. තාමත් අපිට බේරෙන්න වෙලාව තියන නිසා අපි දැන්ම ගමෙන් පිට වෙන්න ඕනේ! හැම කෙනෙක්ම ආරක්ෂිත ස්ථානයට යන්න පිටත් වෙලායි ඉන්නේ. ඔබතුමාත් අපිත් එක්ක යන්න එන්න."
ඒක අහන් හිටපු පූජකයා උත්තර දුන්නේ මෙහෙමයි : “මම ඔබ වගේ අදේවවාදියෙක් නෙමෙයි. මට දෙවියන් ගැන පූර්ණ විශ්වාසයක් තියනවා. දෙවියන් මාව බේරා ගැනීමට එයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම දේවමාළිගාවෙන් පිට වෙන්නේ නෑ. ඔබට යන්න පුළුවන්! ” ඉතින් ඒ මනුස්සයා පිටත් වෙලා ගියා.
වැඩි වෙලාවක් නොගොස් ජල මට්ටම ඉහළ යාමට පටන් ගත්තා. ජල මට්ටම තමන්ගේ ඉණ උස දක්වාම ළඟා වෙන්න පටන් ගන්නකොට පූජකයා මේසය මතට නැග්ගා. මිනිත්තු කිහිපයකට පස්සේ පූජකයාව බේරා ගැනීමට බෝට්ටුවකින් තවත් කෙනෙක් ආවා. ඔහු ද පූජකයාට කීව්වේ, “ඔබතුමා තවමත් දේවමාළිගාව තුළ ඉන්න බව ගම්වැසියන් මට කිව්වා. ඒ නිසා මම ඔබව බේරා ගැනීමට ආවා, කරුණාකරලා බෝට්ටුවට නගින්න”. නමුත් පූජකයා නැවතත් ඔහුට පෙර කී හේතුවම කියමින් බෝට්ටුවට නැඟීම ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ බෝට්ටුවත් යන්න ගියා.
ජලය දිගින් දිගටම පල්ලියේ සිවිලිමට ළඟා වූ නිසා පූජකයා පල්ලියේ මුදුනට ම නැග්ගා. තමන්ව බේරාගන්න කියා කියා යදිමින් ඔහු දිගටම දෙවියන්ට යදින්න පටන් ගත්තා. ඊට පස්සේ ආවේ හෙලිකොප්ටරයක්. ඒකේ ආපු බේරා ගැනීමේ නිළධාරීන් විසින් පූජකවරයා වෙතට කඹ ඉණිමඟක් දමමින් හෙලිකොප්ටරයට නැඟලා ආරක්ෂිත ස්ථානයකට යන්න එන්න කියලා ඉල්ලා සිටියා. නමුත් පූජකයා නැවතත් කළේ පෙර හේතුවම පවසන එකයි. ඔවුන් සමඟ ද පිටවීම ප්‍රතික්ෂේප කළා! ඒ නිසා හෙලිකොප්ටරය අනෙක් ගම් වැසියන්ව සෙවීමට සහ උපකාර කිරීමට පිටත් වුණා.
අන්තිමේදී පල්ලිය ජලයෙන් යට වුණාම පූජකයා හිස ඔසවලා දෙවියන්ට පැමිණිලි කිරීමට පටන් ගත්තා. “අනේ දෙවියනි, මම මගේ මුළු ජීවිත කාලය පුරාම ඔබට නමස්කාර කරමින් ඔබ කෙරෙහි මාගේ විශ්වාසය තබා ගත්තා! ඇයි ඔබ මාව බේරගන්න ආවේ නැත්තේ?! ” ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ඔහු ඉදිරියෙ පෙනී සිටින්න පටන් ගත්තා.
දෙවියන් සිනහ වෙමින් පූජකයාගෙන් මෙහෙම ඇහුවා, “මම තුන් වරක් ඔබව බේරා ගැනීමට ආවා! මම ඔබ වෙත දුවගෙන ආවා අනෙක් ගැමියන් සමඟ ආරක්ෂිත ස්ථානයකට යන්න කියන. ඊට පස්සේ මම බෝට්ටුවක් එක්ක ආවා. අන්තිමට හෙලිකොප්ටරයක් එක්ක ආවා. ඔබ මාව හඳුනා නොගත්තාට මගේ වරද මොකක්ද?! ”
පූජකයා තමන්ගේ වැරැද්ද වටහාගෙන සමාව ඉල්ලා සිටියා. ඒ නිසා ඔහුට තවත් වරක් ආරක්ෂිත ස්ථානයට යාමට අවස්ථාවක් උදා කරලා දෙන්න දෙවියන් තීරණය කළා.
පාඩම : ජීවිතයේදී නැවත නැවත අපිට මතක් කිරීමකින් තොරව, නොදැනුවත්වම අවස්ථා පැමිණෙනවා. ඒවා හඳුනා ගැනීමට අපි අසමත් වුණාම, අපිට සාර්ථක ජීවිතයක් ගත කිරීමට ජීවිතය අවස්ථාවක් ලබා නොදුන් බව කියමින් දෙවිවරුන්ට දිගින් දිගටම පැමිණිලි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ විදිහට අසිහියෙන් ජීවිතය ගත කරනවාට වඩා ඔබට වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න උත්සහ කරන්න. එතකොට ඔබට අර වගේ පසුතැවෙන්න වෙන්නේ නෑ.