අද කාලයේ සමාජයේ දකින්න ලැබෙන එක් සෝචනීය තත්වයක් තමයි, දෙමව්පියන් බොහෝ විට දරුවාට ආදරය පෙන්වන්නේ වැරදි විදිහට වීම. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කාලය ධනය බොහෝ සේ වැය කරනවා. තවද දරුවාව වයස කුමක් වූවත් පොඩි දරුවෙකු සේ සලකන අවස්ථා බොහොමයි. දරුවාගේ සතුට වෙනුවෙන් අම්මාගේ තාත්තාගේ හැමදෙයක් කැප කරන අවස්ථාද බොහොමයි. ඒත් ඔයා මොහොතකට නැවතී සිතුවාද ඔයා ඔයාගේ දරුවාගේ ආත්ම විශ්වාසය කියන දරුවෙකුගේ නිරෝගී වර්ධනයට අත්‍යවශ්‍ය මූලධර්මය ඇතැම් විට ඔබ විසින්ම කඩා බිඳ දමන බව. අද අපි හැඩකාරි කතා කරන්න යන්නේ ඔයා ඒ වැරැද්ද කරන අවස්ථා සහ එයින් දරුවාට වෙන හානිය ගැනයි.
දරුවාට කතා කරන්න අවස්ථාව ලබා නොදීම
එදිනෙදා ජීවිතයේදී දෙමාපියන් හැටියට අපි කෙතරම් දේවල අපේ දරුවන්ට කියනවාද, කියා දෙනවාද. අම්මා තාත්තා විතරක් නෙමෙයි දරුවාටද කතා කරන්න, කියන්න බොහොමයක් දේ තියෙන බව ඔබ සිතුවාද. ඔවුන්ට ඔවුන්ගේ අදහස් පළකරන්න අවස්ථාද එනවා. එහෙත් කණගාටුවට කරුණ, ඇතැම් දෙමාපියන් දරුවාට කතා කරන්න ඉඩ නොදීම. ඔවුන්ට ඔවුන්ගේ අදහස් පළකරන්න ඉඩ නොදීම. ඇතැම් අවස්ථා වල ඔවුන්ට කතා කරන්න ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් ඔබ පිළිතුරු දීම වගේ අප විසින් කරන වැරදීම් නිසා නුදුරු අනාගතයේදීම දරුවා ආත්ම විශ්වාසයක් නැති පුද්ගලයෙකු බවට පත් වෙනවා. දරුවාට කවදාවත් තනියෙන් තීරණ ගන්න බැරි කෙනෙකු බවට පත් වෙනවා. සමහර වෙලාවට දරුවාගේ නම, වයස ඇහුවත් දෙමව්පියන් උත්තර දෙන අවස්ථා එදිනෙදා ජීවිතයේදී අනන්තව ඔබට හමු වෙලා ඇති. අනුන් ඉදිරියේ දරුවාට කතා කරන්න ඉඩ දෙන්න. ඒ වගේම දිනපතාම දරුවාට ඔබත් සමග කතා කරන්න වෙලාවක් හදා ගන්න. මෙයින් දරුවාට ඔහු ගැන ආත්ම විශ්වාසය වගේම ඔබ ගැන ඔහු තුල ඇති වන විශ්වාසය නිසා සතුටින් ඉන්න අභිමානවත් දරුවෙක් සමාජයට බිහි වේවි.
මිතුරු ඇසුරුට ඉඩ නොදීම
අද කාලේ බොහොමයක් දෙමව්පියන් දරුවාට මිතුරන් ඇසුරු කරන්න ඉඩ දෙන්නේ නැහැ. තවද තමාගේ පවුලට ගැළපෙන මිතුරෙක් ඇසුරු කරන්න කියා කියනවා. ඇතැම් විට දෙමව්පියන් දරුවාගේ ළඟම මිතුරා වීමට උත්සාහ කරනවා. දෙමාපියන්ගේ කෝනයෙන් බැලූවිට මෙහි කිසිදු වැරැද්දක් නැහැ. මොකද ඒ හැම දෙයක්ම කරන්නේ දරුවාගේ ආරක්ෂාව සඳහායි. නමුත් දරුවෙකුගේ මානසික වර්ධනයට සම වයසේ මිතුරන් ඔවුන් ඇසුරු කළ යුතුයි. එයට ඔවුන්ට නිදහස දෙන්න. සම වයසේ මිතුරන් ඇසුරු නොකිරීම දරුවාට සමාජය ගැන දැනගන්න තියෙන අවස්ථාව නැති කිරීමක්. සම වයසේ මිතුරන් ඇසුරු කිරීම සමාජයේ හොඳ නරක දෙක වෙන් කර ගන්න ලැබෙන හොඳම අවස්ථාවක්.
දරුවාගේ කැමැත්ත දෙමව්පියන් තීරණය කිරීම
දරුවෙක් කියන්නේ තනි පුද්ගලයෙක් බව දෙමව්පියන් හැම වෙලාවකම මතක තියා ගන්න ඕන. ඒ වගේම එකිනෙකාගෙන් එකිනෙකාට කැමැත්ත අකමැත්ත වෙනස් වෙනවා. දෙමව්පියන්ගේ වගකීම නම් දරුවාව අනවශ්‍ය ලෙස ආරක්ෂා කිරීම නොව, දරුවාගේ කැමැත්තට ඉඩ දී වැරදි අඩු පාඩු හදන එක. මුලින්ම කිවා වගේ, එදිනෙදා දේ ඔබ සහ දරුවා කතා කිරීමෙන් ඔහු ඔබට විවෘත වෙනවා. එවිට ඔවුන් ගන්නා තීරණ ගැන ඔහු ඔබට විවෘත වේවි. එවිට ඔබට ඔවුන්ගේ සිත නොරිදා හරි වැරැද්ද කියා දෙන්න පහසු වේවි.
දරුවාගේ වැඩ වලට මැදිහත් වීම
දරුවාගේ නිසි වයස ආ පසු තනිව ඇඳුම් ඇඳීමට, ඒවා සේදීමට, කාමරය පිරිසිඳු කර ගැනීමට, තනිව ආහාර ගැනීමට, තමන් ආහාර ගත් කෝප්පය සහ පිඟාන සේදීමට දරුවාට තනියම කර ගන්න ඉඩ දෙන්න. දෙමව්පියන් ඒ සියලු දේ ඉටු කර දීමෙන් සිදු වන්නේ අයහපතක්. දරුවාට වර්තමානයේ එය එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති නොකලත්, අනාගතයේදී, පාසලේදී, පිට නිවසකට ගිය විට එය ඔහුව අපහසුතාවයකට පත් කරාවි. අනුන්ගෙන් අවලාද අහන්න්ට සිදු වේවි. දරුවා කිසිත් තනිවම කර ගත නොහැකි පුද්ගලයෙකු බවට පත් වීමටත් මෙය හේතුවක් වෙනවා. මේ දෙවල් ඔහුට තනිවම කරන්න කියා දුන්නොත් ඔහු කවුරුත් ආදරය කරන දරුවෙක් බවට පත් වේවි.
දෙමව්පියන් වශයෙන් දරුවාගේ වර්තමාන සතුට ගැන පමණක් නොව අනාගත සතුට ගැනත් සිතුවොත් හොඳ පෞර්ශත්වයකින් යුත් දරුවෙක් අනාගතයට දායාද වේවි.