මව්වරුන් සහ දියණියන් ජීවිත කාලය පුරාම පවතින විශේෂ බැඳීමකින් එකිනෙකාට බැඳිලයි ඉන්නේ. මව සහ දියණිය අතර හොඳ බැඳීමක් නැති නම් එය දියණියන් නොමඟ යාමට එක් හේතුවක්. ඒ නිසා ඔබ ඔබේ දියණිය එක්ක එකට ගත කරන කාලය උපරිමයෙන් ඵලදායී ලෙස ගත කරන්න. දැනටමත් ඔබේ සහ දියණියගේ සබඳතාවය ඉතා ශක්තිමත් නම් ඉතාම හොඳයි. තව දුරටත් ඒ බැඳීම වඩාත් ශක්තිමත් කර ගන්න පුලුවන් ආකාරය පිළිබඳ අදහස් කිහිපයක් මෙන්න...
ඇගේ කොන්ඩයට සහ හිසට තෙල් සාත්තුවක් කරන්න
සෑම ඉරිදාවකම ඔබේ දියණියගේ හිස මත තෙල් ආලේප කරමින් සම්බාහනය කිරීම පුරුද්දක් බවට පත් කර ගන්න. ඒක කරද්දී ඔබේ දියණියගේ කොණ්ඩය පෝෂණය වෙනවා විතරක් නෙමෙයි, ඇය සමඟ බැඳීම වර්ධනය කරගන්නත් කාලය ලැබෙනවා. ඔබේ දියණියගේ කොණ්ඩයේ දිග අනුව තෙල් රත් කරලා අරන් කපු පුළුං බෝලයක පොඟවලා ඇගේ හිස්කබලට හොඳින් ආලේප කරන්න. රත් කරපු තෙල් ගොඩක් උණුසුම් වෙලා තියෙන්න පුලුවන් නිසා ඔබේ ඇඟිලි තුඩු කෙලින්ම තෙල් එකට දාන්න එපා. ඒ වගේම දියණියගේ කොණ්ඩයට කෙලින්ම තෙල් වත් කරන්නත් එපා. කපු පුළුං කැබැල්ලක් භාවිතයෙන් ඇගේ හිස්කබලේ මෘදු ආකාරයට තවරන්න. ඔබ ඇගේ හිස්කබල පුරා තෙල් තැවරුවාට පස්සේ ඇයට විනාඩි 10-20 අතර කාලයක් හොඳ සම්බාහනයක් ලබා දෙන්න. ඒක කරන අතරතුර රූපවාහිනිය බලන එක නවත්තලා හොඳ සංගීතයකට දරුවාට සවන් දෙන්න ඉඩ දෙන්න. නැත්නම් එකිනෙකා සමඟ කතා කරන්න. ඇගේ දවස ගැන සාකච්ඡා කරන්න. ඔබේ ළමා කාලය පිළිබඳ කතන්දර ඇයට කියන්න.
එකට සාප්පු යන්න
එකට සාප්පු සවාරි යද්දී ඇගේ අදහස් ද සැලකිල්ලට ගන්න. ඒකෙන් ඇගේ විශ්වාසය ගොඩ නැංවෙනවා. ඔබ හැම වෙලාවේම ඇයගේ මතය නොසලකා හැරියොත් නිවැරදි තේරීමක් කිරීමට ඇයට ඇති හැකියාව ගැන විශ්වාසය වර්ධනය වෙන එකක් නෑ. ඒ නිසා ඇයට විශ්වාසයෙන් යුතුව තීරණයක් ගැනීමට බැරි වෙන්න පුලුවන්. ඔබ ඇයගේ තේරීම් සමඟ සම්පුර්ණයෙන්ම එකඟ නැත්නම් නම්, බඩු ලැයිස්තුවේ පොඩි පොඩි දේවල් මිලදී ගන්න ඇයගේ උදව් ලබා ගන්න. ඇයගේ තීන්දු ගැන ඔබට එකඟ වෙන්නම බැරි නම් ඇයගේ අදහස් ගැන අහන්නේ නැතුව ඉන්න. නැත්නම් ඇයව රැගෙන නොයෑම වඩාත් සුදුසුයි. සාදයකට යන්න කලින් ඔබ පළඳින්න ඕනේ දේවල් ගැනත් ඇයගේ මතය විමසන්න වුණත් පුලුවන්.
ඔබට සූදානම් වෙද්දී ඇයට උදව් කරන්න දෙන්න
ඔබට නිවසෙන් බැහැරව යාමට සූදානම් වන අවස්ථාවකදී, සහයෝගය දෙන්න පුලුවන් ඕනෑම ආකාරයකින් ඔබේ දියණියට උදව් වෙන්න දෙන්න. ඔබේ කුඩා දියණිය ඇගේ උදව් එක්ක ඔබ ඇඳුම් අඳිමින් සූදානම් වනවා දකින්න කැමතියි. ඒ නිසා ඔබ සාරියක් අඳිනවා නම් සාරි දෙකක් එළියට අරන් ඔබ අඳින්න ඕනේ ඇඳුම තෝරලා දෙන්නට ඔබේ දියණියට ඉඩ දෙන්න. ඒ හා සමානව ඔබේ ආභරණ ආදිය පිළිබඳ ද ඇගේ මතයත් අහන්න.
ඇගේ මිතුරන් සමඟ මිතුරු වෙන්න
ඔබේ දියණියගේ මිතුරන් දැන හඳුනා ගන්න. ඔබ ඇගේ මිතුරන් සමඟ වඩාත් සමීප වන තරමට ඇගේ මිතුරන්ට ඇය සමඟ කාලය ගත කිරීමට පහසු වෙනවා. ඒ හා සමානවම ඇයද ඔබව වඩ වඩාත් ඇගේ ලෝකයේ කොටසක් බවට පත් කර ගන්නවා. දෙමව්පියන් දරුවන්ව මිතුරන්ගෙන් ඈත් කරනකොට ඔවුන් බිය ගැන්වෙන නිසා ඔබේ නිවසට පැමිණෙන එක නවත්වනවා. ඊට පස්සේ මිතුරන් ඔබේ දරුවාව ඈත් කරන්න බලනවා. සහ ඔවුන්ගේ ඇසුරුකම් ගැන ඔබත් එක්ක කියන එකත් නවතිනවා. ඒකෙන් තනි වෙන්න ඔබේ දරුවාමයි. ඒ නිසා ඔබ දියණියගේ මිතුරියන්ටත් ඉතා උණුසුම් ආදරයක් පිරි නමන්න. දවසේ ඕනෑම වේලාවක ඔවුන් නිවසට එනකොට ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. තවද ඔබේ දියණිය නව යොවුන් වයසට එළඹෙනකොට ඔබේ දියණියගේ සියලු මිතුරන් ඔබේ නිවසේඳීම එකමුතු වෙනවා දකිනකොට ඔබටත් සතුටක් දැනෙයි.
ඒ වගේම ඇගේ මිතුරු සමාජයට සම්බන්ධ වීමෙන් ඔවුන් අතර සිද්ධ වෙන්නේ මොනවාද කියලා දැනගන්නට ඔබට ඉඩක් ලැබෙනවා. කොහොම වුණත් ඔබ ඔබේ දියණියගේ පෞද්ගලිකත්වයට හිරිහැරයක් වෙන විදිහට හැසිරෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඇගේ මිතුරන් ගෙදරට ආවම ඔබ ඔවුන් සමඟ ද ටික වේලාවක් කතා කරන්න. ඊට පස්සේ ඔවුන්ට තනියම කතා කර කර ඉන්නත් ඉඩ දෙන්න. නැත්නම් ඔවුන්ට ඔබේ ගෙදරදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඉඩක් නෑ කියලා හිතෙයි. එතකොට ඔබේ යහපත් අභිප්‍රායන් පසු බසින්න පුලුවන් !