හැඩකාරියෝ තමන්ගේ විවාහ මංගල්‍යය ඉතා උත්කර්ශවත් අන්දමට සැලසුම් කිරීමට සිහින මවන්න ඇති. කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අපට මේ වෙනුවෙන් යම් සීමාවන් පනවා ගන්න සිදු වුනත් විවාහයක වත් පිළිවෙත් සහ ඒවායින් සංකේතවත් කරන්නේ මොනවාදැයි විවාහ වෙන්න ඉන්න ඔබ දැනගෙන හිටියොත් හොඳයි නේද..?
පෝරුවේ උපත
පෝරුවේ උපත පිලිබඳව වූ කාලවකවානු ගැන නිශ්චිත සඳහනක් නැතැත් මහා සම්මත රජ දවස පටන් පැවැගෙන බවට විශ්වාස කෙරේ. මහ සම්මත රජතුමාගේ සහ මැණික්පාලි හෙවත් “මුතුකෙලී” කුමරියගේ විවාහ මංගල්‍යය “චන්දගිරි” පර්වතයේදී සිදු වෙන විට විස්මකර්ම දෙවියන් පැමිණ පෝරුව මවන ලදැයි විශ්වාසයක් තිබේ. ඊටත් අමතරව තවත් විශ්වාසයක් අනුව නෙළුමක උපන් පද්මාවතී කුමරිය බරණැස් රජතුමාට සරණ පාවා දෙන තැන පටන් පෝරුව පැවැතෙන බැව් සඳහන් වේ.
1. පෝරුවට නැංවීම
පෝරුව සිව්කොන “ධෘතරාෂ්ට”, “විරූඬ”, “විරූපාරක්ෂ” සහ “වෛශ්‍රවණ” යන සතර වරම් දෙවිවරුන් වෙනුවෙන් පුන්කලස් මත පහන් දැල්වීම සිදු වේ. මනාල යුවල පෝරුවට නැංවීමේදී මුලින්ම “නමෝ තසස් භගවතෝ” ගාතාව තුන්වරක් ගායනා කරනු ලැබේ. එයින් පසුව තෙරුවන් වන්දනා කරන ගාථා ගයා එයින් අනතුරුව හොඳින් ශබ්ද රසය දනවන “සංසාර සාරෝඝ විනීත නීසං” වැනි ගාතාවන් ගායනා කරනු ලැබේ. භුමිදෙවි නමස්කාරය සඳහා “වන්ද කුසුම මාලාං” ගාථාවෙන් අනතුරුව පෝරුවට නැගීම සඳහා අවසර ඉල්ලා සිටීමට කවි කීපයක් පෝරුවේ චාරිත්‍ර වෙනුවෙන් යෙදී ඇති කාලවේලාව ගැන සලකා බලමින් ගායනා කෙරේ. සුබ නැකැත උදාවෙත්ම මනාලිය මනාලයාගේ භාරකරුවන් විසින් ඔවුන් පෝරුවට නංවනු ලැබේ.
2. මංගල පෝරුවේදී මනාලිය පෝරුවේ වම් පැත්තටත් මනාලයා දකුණු අතටත් සිටින්නේ ඇයි..
පුරාණ ගෝත්‍රික ජනසමාජයන්හිදී කාන්තාව නිතරම ගමන් ගත්තේ පිරිමියාට වම් පැත්තෙන්ය. ඊට හේතුව වූයේ අතරමගදී යම් සතුරු හෝ වෙනත් උපද්‍රවයක් පැමිනි විට දකුණතින් ආයුධය ගෙන වමතින් තමාගේ සහකාරිය ආරක්ෂා කර ගැනීමේ පිලිවෙත සංකේතවත් කිරීමයි.
3. බුලත් හුවමාරුව
බුලත් අපේ ජන සංස්කෘතියේ සංකේතයයි. ගරුත්වය සහ පූජණීයත්වයත් මෙයින් සංකේතවත් වේ. බුලත් හුරුල්ලක් මත පඬුරක් තබා යුවලගේ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටී.
4. තැලි පිලි ඇන්දවීම
මනාලියට තැපි පිලි ඇන්දවීමෙන් සංකේතවත් කරන්නේ ඇයගේ දිවි පැවැත්ම වෙනුවෙන් වූ සියළු යුතුකම් මනාලයාගෙන් ඉස්ට වෙන බවයි. සිඟාලෝවාද සුත්‍රයේ සඳහන් අන්දමට සැමියා තමාගේ බිරිඳට යුතුකම් ඉටු කරන පුද්ගලයෙකුගේ චරිතයක් බවට පත් වීම මෙයින් අදහස් වේ. තම බිරිඳට හොඳින් සංග්‍රහ කරන සැමියාට දෙවියන් පවා ගරු කරන බව වරක් සක්දෙවිඳුන් පවා සඳහන් කර තිබේ.
5. මුදු මාරු කිරීම
විවාහ මංගල්‍යක වැදගත් තැනක් ගන්නා මුදු මාරුවෙන් සංකේතවත් කරන්නේ ඔවුනොවුන් අතර දිවි ඇති තෙක් පවත්නා වූ හෘදයංගම බැඳීමයි. මුදු මාරු කිරීමේදී වෙද ඇඟිල්ලේ මුල් පුරුකට මුද්ද මාරු කිරීම සිදු වෙනවා. මේ වෙනුවෙන් මනාලියගේ නම් වම් අතේ වෙදැඟිල්ලත්ල මනාලයාගේ නම් දකුණු අත වෙදැඟිල්ලත්ල තෝරා ගැනෙනවා. මේ මුල් පුරුක හදවතට සම්බන්ධයි. ඒ නිසාම මේ ඇඟිල්ල තෝරා ගැනීම බොහෝ සෙයින්ම සහේතුකයි. ඔබ දන්නා අන්දමට ජ්‍යොතිෂවේදීන් අත්ල බැලීමේදීත් තෝරා ගන්නේ කාන්තාවගේ නම් වම් අත්ලයි. ඒ වගේම පිරිමියෙකුගේ නම් දකුණු අත්ලයි. වෙද හෙදකම් කිරීමේදීත් මේ පිලිවෙත අනුගමනය කරන්නේ හදවතට සම්බන්ධයක් පැවතීම නිසයි. විවාහය කියන්නේත් හෘදයංගම බැඳීමක් නිසා ඔවුන් මේ විදිහට තෝරා ගැනීමක් කිරීමට ඇති.
6. අතපැන් වැඩීම
මනාල යුවලගේ දකුණු අතේ සුළැඟිලි දෙක පිරිත් නූලකින් බන්ධන කරනු ලැබේ. එයින් පසුව අතපැන් වත් කිරීම සිදු වේ. ජලය සුබ දෙයක සංකේතයක්. අත පැන් වත් කිරීම පෙර දවස පටන් පැවැතෙන චාරිත්‍රයකි. වෙස්සන්තර රජතුමා දේපල දන් දුන්නේද, බිම්බිසාර රජතුමා වේලුවනාරාමය පූජා කළේද, දෙවනපෑතිස් රජතුමා මහමෙව්නාව පූජා කලේද අත්පැන් වැඩීමෙන් පසුවයි. ඒ සිරිතට අනුව යමින් යුවලක් විවාහ වීම හෙවත් තම දියනිය සහකරුවා වෙත ප්‍රදානය කිරීම අත්පැන් වත් කිරීමෙන් සිදු කිරීම චාරිත්‍රයක් බවට පත්ව තිබේ.
7. ජයමංගල ගාථා ගායනය
බුදුරජාණන්වහන්සේ ජීවිතයේ විවධ අභියෝග ජයගත් අන්දම සිහිපත් කරමින් ඒ අනුහසින් ඔබ දෙදෙනාටත් ආහිර්වාදයක්ම වේවා යැයි ජයමංගල ගාතා ගායනා කෙරේ.
8. පැන් සහ රසකැවිලි පිරිනැමීම
පෝරුවේදී පැන් සහ රසකැවිලි පිරිනැමීම සිදු වේ. මෙය පුරාණ කාලයේදී අමරා දේවියට මහෞෂධ පන්ඩිතතුමා හමු වීමේ අවස්තාව සිහිපත් කරයි. ආහාරයට පෙරාතුව පැන් වීදුරුවක් පිලිගැන්වෙන අතර එයින් පසුව කැවිලි පිලිගන්වනු ලැබේ. දෙදනොගේ සහජීවනයේ ආරම්භය මෙහිදී සංකේතවත් වේ.
9. කිරිකඩසේලය පිරි නැමීම
පෝරුවේ චාරිත්‍ර අතර කිරිකඩ සේලය පිරිනැමීමේ සිරිත අදටත් සිදු වෙනවා. මේ සිරිත දියනිය විසින් මවගෙන් බොන ලද කිරි වෙනුවෙන් වූ ණය පියවීමක් සංකේතවත් කරනවා. මේ රෙදි කච්චියම පොඟවා ගත හැකි තරමට අම්මා විසින් දියනිය තමාගේ කිරෙන් පෝෂණය කළ බවට වූ සංකේතයක් විදිහට “කිරිකඩ සේලය” පිරිනැමීමෙන් සංකේතවත් වෙනවා. එහෙත් මෙයින් අදහස් කරන්නේ මවක විසින් දරුවන්ට පෙවු කිරිවල ණය ගෙවා නිම කළ නොහැකි බවයි.. මෙහි අතීත සම්බන්ධතාවය මෙසේය. ඔක්කාක රජදවස විසූ සුබ්‍රහ්මා සහ සුමනසීලිගේ දියනිය වූ “ණබ්‍රහ්මජාලි” කුමරිය විවාහ වෙන අවස්ථාවේදී සිදු කරන ලද චාරිත්‍රයක් සිහි ගැන්වීම නිමිති කර ගෙන මේ අවස්ථාව පෝරුවේ චාරිත්‍ර අතරට එක්ව ඇත. මේ අවස්ථාවේදී ගායනා කරන කවි ඉතා සංවේදීය. එය මනාලියගේ පමණක් නොව ආරාදිතයන්ගේද දෙනෙතට කඳුළු නංවීමට තරම් ප්‍රබල ලෙසින් මව් සෙනෙහසේ අරුමය ගායනා කරනු ලැබේ.
10. පෝරුවෙන් බැසීම
අවිවාහකයන් ලෙසින් පෝරු මස්තක වුන මනාලයා සහ මනාලිය දැන් පෝරුවෙන් බසින්නේ දෙදනො දෙදනොගේ ජීවිතයට සහකරුවන් වුන බවට වූ සන්නිවේදනයත් සමගයි. යුවල පෝරුවෙන් බැසීමට පෙරාතුව වරම් කවි කීපයක් ගායනා කරනු ලැබේ. මනාල යුවල සුබ දිශාව බලා පෝරුවෙන් බැසීම සිදු වේ.
11. පහන් දැල්වීම
පහන් දැල්වීමෙන් අන්ධකාරය දුරුවේ. ආලෝකය ළඟා වේ. මේ සංසිද්දිය සිහිගන්වමින් අන්ධකාරය වෙනුවට ජීවිතයට ආලෝකය ළඟා වේවා යන ප්‍රාර්ථනයෙන් පහන් දල්වන අතර එහිදී මගුල්බෙර වාදනය වේ.
එන්.ඒ.පි.සි