ආදරවන්තයන්ට වසරේ සුවිශේෂි දිනයක් තමයි වැලන්ටයින් දවස. ආදරය සමරන්න, ආදරය අලුත් කරගන්න මේ දවස වැදගත් වෙනවා. එකිනෙකාට තෑගි දීමට අමතරව එයින් මදක් ඔබ්බට ගොස් ආදරවන්තයින්ගේ දිනය වූ ඔබේ දවස වඩාත් සුවිශේෂි හා ප්‍රේමාන්විත කරගැනීමට මේ දේවල් කරලා බලන්න.
1. රතූ රෝසමල් පොකුරක් තෑගි කරන්න
වැලන්ටයින් දිනයේදි රතූ රෝසමල් පොකුරකට තරම් ඔබේ ආදරය පෙන්වන්න සමත් වෙන තෑග්ගක් නැති තරම්. රතු රෝස ආදරයේ සංකේතයක් වගේම පෙම්වතුන් තම ආදරය ප්‍රකාශ කරන්න අතීතයේ සිටම රෝස මල් හුවමාරු කරගත්තා. වෙනයම් තෑගිවලට වඩා රෝසමල් පොකුරක ආදරය ගැබ්වෙලා තියනවා. ඔබ යම් දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් එයටම රෝසමල් පොකුරක්ද එකතු කරන්න
අමතක කරන්න එපා.
2. වැලන්ටයින් කාඩ්පතක් ඔබ විසින්ම සකසන්න

වැලන්ටයින් කාඩ් 1ක් කඩෙන් අරන් දෙනවට වඩා එය ඔබ විසින්ම නිර්මාණය කර දෙනවානම් එහි ඇති වටිනාකම මිල කරන්න බෑ. ඔබම සැකසූ කාඩ්පතේ ඔබේම වචනයෙන් පොඩි කවියක්/නිසදසක් හෝ පොඩි නෝට් එකක් ලියන්න. එහි පවසන්න ඔබ ඔහුට කොයිතරම් ආදරේද යන වග සහ ඔහුතුල ඇති ඔබ වඩාත් ආදරය කරන විශේෂිත දේවල්.
3. එකට එක්ව කාලය ගත කරන්න

මේ සදහා ඔබ දෙදෙනා කැමතිම අවන්හලකට රාත්‍රී කෑමකට යන්න පුලුවන්. නැත්නම් ඔබටම රාත්‍රී කෑම වේලක් ඔබේ අතින්ම පිළියෙල කරන්න පුලුවන්. මේ සදහා කෑම මේසයකටම යා යුතු නෑ. ඔබ කැමති නිදහස් තැනක් ලස්සනට පිළියෙල කරගන්න. ඉටිපන්දම් ආලෝකය මුසුවූ අඩු ආලෝකයක් උපයෝගි කරගන්න. අඩු ආලෝකය ප්‍රේමාන්විතයි. ඒ වගේම දෙදෙනා එක්ව ලංවී, තුරුල් වී චිත්‍රපටයක් නරඹන්න. එකිනෙකාට ඔබේ සම්පූර්ණ අවධානය ලබාදෙන්න. ඒ වෙලාවට ඉන්ටනෙට් යන්න, චැට් කරන්න ආදි දේවල් කරන්න එපා. දුර්කතනය ක්‍රියා විරහිතව තියාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
4. අලංකාරව ඔබ හැඩවෙන්න

වැලන්ටයින් දවස ඇත්තටම ඔබට සුවිශේෂි වූ දවසක්. එදිනට ඔබ වඩාත් ලස්සට ඇදපැළඳ ගන්න. ඔබ දෙදෙනා විශේෂිත තැනකට යන්න ඉන්නවා නම් හෝ නිවසේදි මුණගැසීමට ඉන්නවා හෝ වේවා, සැලසුම කුමක් වුවත් ඔබේ ලස්සන ඉස්මතු වන ආකාරයෙන් හැඩවෙන්න. එවිට ඒ මොහොත තව තවත් සුවිශේෂි හා සුන්දර වනු ඇත.
5. ඔබේ ආදරය පවසන්න

ඔබ ආදරය කරන කෙනාගේ දෑස්දෙස බලා පවසන්න ඔබ කොයිතරම් ආදාරේද යනවග. දෑස් දෙස බලා එක එල්ලේ කියන දේවල් නිකම්ම කියන දෙයකට වඩා හිතට කා වදිනවා මෙන්ම කියනා දේ පිළිබද තහවුරු බවක් හැඟෙනවා. ඒ වගේම ඔබ ඔහුගේ දකින හොද දේවල්, ඔහුගැන ඔබ තුල ඇති විශ්වාසය සහ මේ ආදරය ඔබට කෙතරම් වටිනවාද යනවග ඔහුට පසක් කරදෙන්න. මේ වැලන්ටයින් එකේදි ඔබේ ආදරය තවත් අලුත් වේවි.