මේකප් එකක පදනම වෙන්නේ ෆවුන්ඩේෂන් එක කියලා ඔයා දන්නවානේ. ඔයා මේකප් එකකට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරා නොගත්තොත් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ මෙකප් එකක් ලැබෙන්නේ නෑ. මේ කාරණය ගොඩක් වැදගත් වෙන්නේ ඔයාට තනියම මේකප් එකක් දා ගන්න ඕන වුණාම. මොකද අද තියෙන පාටී, උත්සව හැම එකටම සැලෝන් එකකට යන්න ඔයාට වේලාවක් නැති වෙන්නත් පුළුවන්. ඉතිං ඔයා තනියම මේකප් එකක් කර ගන්නවා නම් ඔයාට ගැළපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරා ගෙන තිබීම ඉතාමත් වැදගත්. ඔයාගේ සමේ වර්ණය අනුව ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීම ඉතා වැදගත්. එකිනෙකාගේ සමේ වර්ණය එකිනෙකට වෙනස්. ඔයාගේ යහළුවට ගැළපෙන ෆවුන්ඩේෂන් එක ඔයාගේ සමට ගැළපෙන්නේ නෑ. ඔයා කොහොමද ඔයාගේ සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ. මේ ගැන අද Hadakari.com වෙතින් කතා කරන්න අපි තීරණය කළා.
බ්‍රෑන්ඩ් එක ගැන ටිකක් හොයලා බලන්න
අපි මොනවාමහරි නිෂ්පාදනයක් මිලදි ගන්න කලින් ඒ නිෂ්පාදනයේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලනවානේ. ඉතිං ඔයා මුහුණ සදහා මොනවම හරි නිෂ්පාදනයක් මිලදී ගන්න කලින් එහි බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලන්න අමතක කරන්න එපා. හැම නිෂ්පාදයක්ම ඔයාගේ සමට ගැළපෙන්නේ නෑ. ඔයාට පුළුවන් ඔයා මිලදී ගන්න බ්‍රෑන්ඩ් භාවිත කරන මිතුරියන්ගෙන් ඔයාට එහි හොඳ නරක අහලා දැන ගන්න. එහෙමත් නැතතම් ඔයාට සැලෝන් එකකින් වුණත් අහලා මේ ගැන දැන ගන්න පුළුවන්. මොකද ඔයා හොඳ බ්‍රෑන්ඩ් එකක් මිලදී ගත්තොත් එයින් ඔයාගේ සමට වෙන හානීය අවම කර ගන්න පුළුවන්. ඔයා කොතරම් මිල අධික ෆවුන්ඩේෂන් එකක් තෝරා ගත්තත් වැඩක් නෑ ඔයාගේ හමට ගැළපෙන්නේ නැත්තම්. ඔයා වෙළදසැලකට ගිහින් තනියම ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නවාට වඩා තවත් කෙනෙක්ගේ උදව්වක් අරගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට හොදම දේ තෝරා ගන්න පුළුවන්.
ෆවුන්ඩේෂන් එක ටෙස්ට් කරලා බලන්න
ඔයා කඩේට ගිහිල්ලා ෆවුන්ඩේෂන් එකක් ඉල්ලුවම ඔයාට විවිධ වර්ගයේ ෆවුන්ඩේෂන් වර්ග දෙයි. එහිදි ඔයා වඩාත් විමසිලිමත්ව ඔයාගේ සමට ගැළපෙන ෆවුන්ඩේෂන් වර්ගයක් තෝරාගත යුතුයි. මොකද ඒ හැම වර්ගයකම ෆවුන්ඩේෂන් ඔයාට ගැළපෙන්නේ නෑ. ඔයාගේ සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක මිලදී ගන්න කලින් ටිකක් ටෙස්ට් කරලා බලන්න. ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කරලා. මේක ෆවුන්ඩේෂන් එකක් ටෙස්ට් කරලා බලන නිවැරදි ක්‍රමය නම් නෙමෙයි. මොකද මුහුණේ පැහැය හා අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැහැය එකිනෙකට වෙනස්. එවිට ඔයාගේ මුහුණට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක නිවැරදිව තෝරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ෆවුන්ඩේෂන් ටිකක් මුහුණේ ආලේප කරලා බලන්න. ෆවුන්ඩේෂන් එකක් ආලේප කරපු ගමන් ඔයාගේ සමට ගැළපෙනවද කියලා හරියටම හොයා ගන්න බෑ. ටික වේලාවක් ගියාම ෆවුන්ඩේෂන් එක ඔයාගේ සමට උරා ගන්නවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සමට හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න.
සුදුසු ආලෝකයකදි ෆවුන්ඩේෂන් එක ආලේප කරලා බලන්න
සමාන්‍යයෙන් වෙළදසැළක් ඇතුළේ තියෙන්නේ දීප්තිමත් කෘත්‍රීම ආලෝකය. සමහර විට ඒ ආලෝකය කහ හෝ සුදු පාට විය හැකියි. ඉතිං ඒ වගේ තැනක ඉඳලා බෑ ඔයාට හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න. ඔයාට මේ සදහා තියෙන හොදම විසදුම තමයි ස්වභාවික ආලෝකයකදී ඒ කියන්නේ ජනේලයක් ළගට හෝ ගිහින් ඔයාට පුළුවන් ෆවුන්ඩේෂන් එකක් ආලේප කරලා ඔයාගේ සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න එක.
ෆවුන්ඩේෂන් එකක් භාවිත කරන්න පුළුවන් ආකාර මොනවාද?
ෆවුන්ඩේෂන් භාවිත කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. ස්ටික් ආකාරයට, පවුඩර් එකක් ආකාරයට එහෙමත් නැත්තම් දියරමය වශයෙන්ද ෆවුන්ඩේෂන් එකක් ලබාගත හැකියි. ඔයාගේ සමේ වර්ණය අනුව තමයි ඔයාට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක මොකක්ද කියලා දැන ගන්න වෙන්නේ. ඔයාට තියෙන සමේ ස්වභාවය අනුව තෝරාගත යුතු ෆවුන්ඩේෂන් එකද වෙනස් වෙනවා.
ඔයාට තියෙන්නේ වියළි සමක් නම්
ඔයාගේ සම වියලි සමක් කම් දියරමය ෆවුන්ඩේෂන් එකක් හෝ ෆවුන්ඩේෂන් ස්ටික් එකක් තෝරා ගන්න පුළුවන් නම් වඩාත් හොදයි. මෙමගින් සමේ වියළි බව අඩුකරනවා.
ඔයාගේ සම තෙල් සහිත සමක් නම්
ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් තෙල් රහිත දියරමය හෝ පවුඩර් ලෙස පවතින ෆවුන්ඩේෂන් එකක් භාවිත කරන්න. පවුඩර් මගින් ඔයාගේ සමේ තෙල් උරා ගන්න නිසා තෙල් අධික බව පාලනය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණට දීප්තියක් ලැබෙනවා. ඊට අමතරව ඔයාගේ මුහුණේ ඇති වී තිබෙන කුරුළෑ අසාදන තත්ත්වයන් මෙමගින් අවම කර ගන්න පුළුවන්.
ඔයාට තියෙන්නේ සමාන්‍ය සමක් නම්
ඔයාගේ සම සාමාන්‍ය නම් තෙල් සහිත හෝ වියළි බවක් නොමැති නම් ඔයාට ගැළපෙන්නේ පවුඩර් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක්. මෙවැනි වර්ගයේ ෆවුන්ඩේෂන් එකකින් ඔයගේ සම රැලි වැටී පෙන්නුම් කිරීම අවම කර මුහුණ දීප්තිමත්ව පවත්වා ගන්න උපකාරී වෙනවා.
මේකප් කිරීම ඔයාට ආධුනික නම්
ඔයා මේකප් කරන්න පටන් ගත්තේ මෑතකදී නම්, මේකප් කිරීම ඔයාට ආදුනික නම් හොදම දේ තමයි පවුඩර් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්න එක. මොකද ඔයාට එය පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වගේම අනෙක් ෆවුන්ඩේෂන්වලට වඩා සමට හොදින් කා වැදීමද සිදු වෙනවා.