ආහාර අපේ ජීවිතයේ පැවැත්මට හේතු වුනත් අහිතකර විදිහට ආහාර සකස් කර ගැනීම නිසා ඇති වෙන අතුරු ප්‍රශ්නත් සරලව සැලකිය යුතු නැහැ. විටින් විට මේ ගැන පුවත් අපේ හැඩකාරියන්ටත් ඇහෙනවා ඇති. එහෙම නැත්නම් අපි අතරේම අපේම සමීප උදවියටත් මේ තත්වයෙන් අනන්ත බැට කෑමට සිදු වෙලා ඇති.
විශේෂයෙන් පාසල්, ඇගළුම් කර්මාන්තශාලා වගේම වෙනත් විදිහකින් කිව්වත් සමූහව ආහාර සකස් කරන ස්ථානවල මේ වස විස වීම් ඉතාම ඉහලින් ඇති වෙනවා.
ඒත් දැන් කාලා හුඟාක් වෙලානේ..
ඇත්ත... ආහාරයක් උගුරෙන් පහලට යන විටම ඒ ගැන ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ශරීරයෙන් ආහාරය ප්‍රතික්ෂෙප කරන කාලය පැය බාගයේ සිට පැය පහක් වැනි කාලයක් දක්වා විය හැකියි.
ඉතින් දැනෙන්නේ කොහොමද...?
ඒ ගැන නම් කතා ඕන නැහැ. වමනය, මල බුරුල් වීම, හිසරදය, උදරයේ වේදනාව... ඔන්න ඔය විදිහට ආහාරය ප්‍රතික්ෂෙප වීමේ ලකුණු අපිට දැනෙනවා. මේ තත්වය බොහොම දරුණු අතට හැරෙන්න පුලුවනි. වමනය, පාචනය නිසා ඇති වෙන විජලන තත්වය මරණයට වුනත් හේතුවක් විය හැකි තරම් දරුනුයි.
ආහාර විස වෙන්නේ කොහොමද...?
සාමාන්‍ය ජීවිතයේදී ආහාර පිසීම සහ ආහාර පරිභෝජනය අතර කාලය වැඩි වෙත්ම ඒ ආහාරයට බැක්ටීරියාවන් ඇතුලු වීමට තිබෙන අවදානමත් වැඩියි. උත්සවයන්හිදී, චාරිකා යන විට පිසින ලද ආහාර අනුභවයට ගත වෙන කාලය වැඩියි. විශේෂයෙන් හාල් කිලෝග්‍රෑම් පණහක් හැටක් පිස ඒවා පිසින ලද භාජනයේම නිවෙන්න තබනවා. එවිට මතුපිටින් සිසිල් ගතියක් ඇති වුනත් ඇතුලත උෂ්ණත්වය ඒ අන්දමින්ම පවතිනවා. වාහන මගින් මේ ආහාර ප්‍රවාහනය කරන විටත් ඇති වෙන රත්වීම ආහාරයේ නරක් වීමට බලපානවා. ශීතකරණයකදී වුනත් ආහාරය ඉවතට ගත යුත්තේ අනුභවයට ආසන්න වේලාවේදියි. ඒ වගේම සීතල ගතිය ඉවත් වෙන තෙක් රත්කර ගැනීමත් වැදගත්.
ශීතකරණය නිසා විදුලි බිල වැඩි වෙනවා…
මේ ගැන නම් හිතන්න එපා. ඊට වැඩිය අසීරුතාවයකට ඔබ වැටෙන්න ඉඩ තිබෙනවා. ආහාර ගබඩා කිරීමේදී ප්‍රශස්ත උෂ්ණත්වය තුල ගබඩා කිරීමෙන් එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගන්න පුලුවනි. ඒ තත්වය සාමාන්‍ය ශීතකරනයේදී නම් සෙන්ටිග්‍රේඩ් අංශක හතරක්. අධිශීතකරනයේදී නම් අංශක 18 ක් තුළ ගබඩා කිරීම අවශ්‍යයි. ඇතැම් ව්‍යාපාරිකයන් වුනත් රාත්‍රි කාලයේදී ශීතකරනය ක්‍රියාවිරහිත කිරිම එහෙම නැත්නම් සීරුමාරු කිරීම නිසා ආහාර නරක් වීමට පුලුවනි.
මස්, මාලු , කිරි, බිත්තර, වැනි ආහාර ක්ෂුද්‍ර ජීවින්ට ඉතා හිතකරයි. ඒ නිසා මේ කාණ්ඩයේ ආහාර ඉක්මනින් පිළියෙල කර ගැනීම, නියමිත උෂ්ණත්වයේ රත් කර ගැනීම, මගින් ආහාර විෂ වීමේ රෝග තත්වයන්නේ පහසුවෙන් දුරස්ථ වීමට පුළුවන්. ආහාර වර්ග නිසි පරිදි වියලා නොගත් විට ඇති වෙන විෂ (Aflatoxin) ධූලක ඉතා අහිතකර විදිහට අපේ සෞඛ්‍යට බලපාන්න පුලුවනි. මිරිස්, පොල්, රටකජු, වැනි ආහාරවලින් ශරීරගත වෙන විෂ ධූලක නිසා අක්මාව, වකුගඩු ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්න පුලුවනි. ආහාරයක පුස් ගතිය දුටු විට අපි කරන්නේ ඒ පුස් කොටස ඉවත් කර සෙසු කොටස් ආහාරයට ගැනීම පුස්නල අන්තර්ගත විෂ ධූලක නිසා අපේ සෞඛ්‍යයට අවදානමක් ඇති වෙන බව අමතක කරන්න එපා.
එකම තෙල් වර්ගයෙන් නැවත නැවත බැදීමත් වගේම මඤ්ඤොක්කා, අලපෙති බදින විට ප්ලාස්ටික් බෝතලයක් තෙලට යොදා ගත් විට සුළං නොවදින බවට තිබෙන විශ්වාසය නිසා මෙවැනි කටයුතු ඒවා ආහාරයට ගන්නා අයට ඉතාම අහිතකර විදිහට බලපානවා. පළතුරු ඉදවීමට යොදන කාබයිට්, කිතුල්පැනි පලදාව වැඩි කර ගැනීමට එහි කඳ හාරා යූරියා යෙදීම නිසා එහි විපාක අපිට දැන් අත්විදින්න සිදු වී තිබෙනවා. මඤ්ඤොක්කා සෛලවල අඩංගු ‘‘ සයනොජෙනික් cyanogenic glucoside ග්ලුකොසයිඩ් සහ ලිනමර්ස් Linemarase එන්සයිම ඉතාම අහිතකර විදිහට බලපාන්න පුලුවන්. මෙම සංයෝග වෙන් වෙන්ව පිහිටීම හානියක් නොවුනත් එකට සංයෝග වීම අහිතකරයි. ඒ නිසා මඤ්ඤොක්කා තම්බන විට වැසුම් ඇර තැම්බිම, පලුදු වුන අල, නිල් පැහැති ඉරි ගිය අල ආහාරයට සුදුසු නැහැ. තිත්ත රස සහ පැණි රස මඤ්ඤොක්කා ලෙසින් වර්ග දෙකක් තිබෙනවා. එයින් ආහාරයට වඩාත් සුදුස පැණි රස වර්ගයයි. ඒ නිසා මේ විෂ ගතිය මගහරවා ගැනීමට මුරුංගා කොළ එක් කිරීම අතීතයේදී භාවිතා කළ ක්‍රමයක්.
තොරතුරු - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ ශ්‍රි ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා.
එන්. ඒ. පි. සි