කායික සෞඛ්‍යය වගේම අපේ මානසික සෞඛ්‍යත් ඕනම අවස්ථාවක පිරිහෙන්න පුළුවන්. ඒ නිසා තමයි කායික සෞඛ්‍ය ගැන වගේ මානසික සෞඛ්‍ය ගැනත් අපි අනිවාර්යයෙන් හිතන්න ඕනි. ඒත් ඉතිං ගොඩක් දෙනෙක් හිතන්නේ තමන්ගේ කායික සුවය ගැන විතරයි. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ කායික සුවයෙන් තොර මානසික සේවයක් වත්, මානසික සුවයෙන් තොර කායික සුවයක් වත් නැහැ කියන එක. ඒ දෙඅංශයම එකකට එකක් සම්බන්ධයි. කායික සෞඛ්‍ය පිරිහුනොත් අනිවාර්යෙන් අපි මානසිකව ඇද වැටෙනවා. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය පිරිහීම කායික රෝග ඇතිකරන්නත් කරන්නත් හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි ආවේග පාලනය කර ගැනීම ඇතුළු අනෙක් සියලුම මානසික ගැටළුකාරී තත්වයන් ගෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්න ඕන.
ආවේග, අපිට ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම මේ වගේ වෙලාවට අපි කරන කියන දේවල් මොනවද කියන එක ගැන අපිට කිසිම වෙලාවක පූර්ව නිගමනවලට එන්න බැහැ. ඒ නිසා තමයි ඇතැම් අය ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය පවා විනාශ කරගන්න යොමු වෙන්නේ. ඒ නිසා මේ ආවේගය පාලනය කිරීම, අවේග කළමනාකරණය කරගැනීම වගේ දේවල් සඳහා, මානසික ලිහිලනය ලබා ගැනීම සඳහාත් පොඩි හෝ කාල වේලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා.
ආවේග ඇති කරන්න මුල් වන හේතු සහ සාධකය වගේම එක් එක් පුද්ගලයා සතුව තියෙන පෞරුෂත්වයේ ලක්ෂණත් මේ ආවේග ඇති වෙන්න බලපානවා. ක්ෂණිකව සිතට එන ආවේග මත ක්‍රියා කරන්න යෑමෙන් සියල්ල අහිමි වී යන්න පුළුවන්. නමුත් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්ට, ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්ට ඒ දේවල් නිවැරදිව කළමනාකරණය කරගන්න හැකියාව තියෙනවා.
ඒත් අවාසනාවට හැමෝටම ඒ හැකියාවක් නැහැ. ඒ නිසා සිතට ඇතිවන ආවේගකාරී අවස්ථාවන්වලදී, ඒ වගේම බැරෑරුම් අවස්ථා වලදී වඩ වඩාත් කල්පනාකාරී වෙන්න අවශ්‍යයි. ඒ වගේ බැරෑරුම් අවස්ථාවක් වේ නම් තමාගේ ගැටලුව ගැන ඥාතියකුට හිතවතෙකුට පවසන එක තමයි සුදුසුම දේ. ඒ වගේම ඇහුම්කන් දෙන අයත් මේ අයව නිසි විසඳුමකට යොමු කිරීමේ මග පෙන්වීම කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම මානසික පීඩනයෙන් ඉන්න කෙනෙක් ගැන වැඩි අවදානයක් යොමු කරන එකෙනුත් ඒ අයගේ ජිවිත ආරක්ෂා කර ගන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන්.
විශේෂයෙන් සියදිවි හානි කරගන්න පෙළඹෙන හේතු අතර විශාදය කියන්නේ ප්‍රධානම හේතුවක්. ඒ වගේම මානසික රෝග, වේදනාකාරි කායික රෝග තත්ත්වයන්, පෞරුෂ ගැටලු, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ගැටලු මේ වගේ අවාසනාවන්ත තත්වයන්ට මූලික වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍යයි.
ඒ වගේම මේ ආවේග, ආතතිමය තත්වයන් දරු ප්‍රසූතියකට කලිනුත් දරු ප්‍රසූතියකින් පසුවත් මව්වරුන්ට ඇතිවෙන වෙන්න පුළුවන්. දරුවා සම්බන්ධයෙන් වගේම අනිත් සියලු දේ සම්බන්ධයෙන් කලකිරුණු ස්වභාවයක් තමයි ඒ වගේ වෙලාවට මව තුලින් පෙන්නුම් කරන්නේ. පවුලේ ඥාතීන් වැඩිහිටියන් මේ තත්ත්වය හරිහැටි අවබෝධ කරගත්තේ නැත්තම් දරුවාට පවා අනතුරු කරන්න මව පෙළඹෙනවා. ඉස්සර ඔය වැදූ ගෙයි සන්නිය කියලා කිව්වේ ඕකටනේ. එහෙම වෙලාවට දරුවාගේ ජීවිතය පවා විනාශ කරන්න තරම් මව දරුණු ලෙස මානසික විපර්යාසයන්ට ලක් වෙනවා. ඒ නිසා මව තුල ඇති වන යම් යම් වෙනස්කම් මානසික ආතතිය, විශාදය හෝ වෙනත් මානසික ගැටළුවක් ලෙස හැඟී ගියොත් වහාම මවට අවශ්‍ය මානසික උපදේශනය ලබාදීම හා රැකබලා ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් දරුවා මවගෙන් ඈත් කර, ආරක්ෂා සහිතව තැබිය යුතුයි.
තමන්ගේ ජීවිතය ගැන කලකිරීමෙන් කතා කරන අය ගැන, එවැනි අය වරින් වර දෙන ඉඟි ගැන ළඟින් ඇසුරු කරන අය හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේ වෙලාවක අවශ්‍ය මානසික සහනය සලසන්න වගේම අවශ්‍ය මානසික උපදේශනය සඳහා යොමු කරන්න කිසිම වෙලාවක ප්‍රමාද නොවිය යුතුයි. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතු වේ කියල කතාවක් තියෙනවනේ. මේ වගේ වෙලාවක මනෝ වෛද්‍ය සායන සේවා සපයන ස්ථානයකට ඔවුන්ව යොමු කිරීම් වඩාත් උචිතයි.