ඔයා මම වගේම අපි හැමෝටම මොනදේ සල්ලි වියදම් කරලා ලබා ගත්තත් ඉතිං නිරෝගී බව නම් සල්ලිවලට ගන්න බෑ කියලා ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. නිරෝගී බව තරම් උතුම් ධනයක් සම්පතක් වෙන නැති තරම්. ගොඩක් අයට නිරෝගී බවේ වටිනාකම දැනෙන්නේ රෝගී වුණාට පස්සේ. නිරෝගී යහපත් ජීවන රටාවක් ගත කරන්න පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීම ඉතාමත් වැදගත්. ඔයා කොච්චර ආසාවෙන් විවිධ ආහාර වර්ග කෑවත් වැඩක් වෙන්නේ නෑ ශරීර සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය වෙන ගුණදායක ආහාර වර්ග නොගත්තොත් ඔයාට කවදාවත් නිරෝගී ජිවිතයක් ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අද Hadakari වෙතින් ඔයාට අපි කියලා දෙන්නේ නිරෝගීව ඉන්න ඔයා ආහාරයට එකතු කර ගත යුතු ආහාර මොනවද කියලා. ඉතිං නිරෝගීව ඉන්න ඔයත් කැමති නම් ඔයා ආහාරයට ගන්න ඕන මොන වගේ ආහාරද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.
තන්තුමය ආහාර
තන්තු බහුල ආහාර ඔයාගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. මොකද විටමින්, ඛනිජ වගේම ප්‍රතිඔක්සිකාර ගුණය යහමින් තන්නතුමය ආහාරවල අන්තතර්ගත වෙනවා. විශේෂයෙන්ම එළවලු හා පළතුරුවල තන්තු බහුල වශයෙන් පවතිනවා. ඒ වගේම ගොඩක් ධාන්‍ය වර්ගවල තන්තු බහුලව දක්නට ලැබෙනවා. ඔයා මේ තන්තු සහිත ධාන්‍ය ආහාරයට එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාගේ තන්තුමය ධාන්‍ය ආහාර ආහාරයට ගත්තට පස්සේ දිරවන්නේ ඉතාමත් සෙමින්. එතකොට ඔයාට කුසගිනි විටෙන් විට දැනෙන්නේ නැහැ. එවිට ඔයාගේ අවිධිමත් අහාර රටාව ඉබේටම පාලනය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ධාන්‍යවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සිරුරේ විෂ සංයෝගයන්ට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ඉතිං ඔයා තන්තුමය ආහාර වැඩි පුර ආහාරයට ගත්තොත් ඔයාට ලෙඩ රෝගවලින් තොරව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්.
බෙරි
බෙරි කුලයේ පළතුරු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා සිරුරේ විෂ සංයෝග පහසුවෙන් මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතිං ඔයාට බෙරි කුලයේ පළතුරු වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේ ප්‍රතිඔක්සිකාරක ඔයාගේ සිරුරේ පිළිකා සෛල මර්ධනය කරනවා විතරක් නෙමෙයි ඔයාගේ සමේ පැහැය ආරක්ෂා කර ගන්නත් ඉවහල් වෙනවා. ඉතිං ඔයාට නිරෝගීව වගේම ලස්සනත් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජීවත් වෙන්න ඕන නම් බෙරි කුලයට අයත් පළතුරු ටිකක් වැඩිපුර ආහාරයට ගන්න අමතක කරන්න එපා.
ඔලිව් තෙල්
ඔලිව් තෙල් ඔයාගේ නිරෝගී බවට කොතරම් ඉවහල් වෙනවාද කියලා මීට පෙර ලිපියකින් අපි ඔයාට දැනුවත් කළා ඔයාම මතක ඇති. අධිරුධිර පීඩනය වගේම හෘද රෝගවලින් මිදිමටත් ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. ඔස්ටියෝපොරොසියස්, දියවැඩියාව වගේම හිස්හොරි කරදරයෙන් මිදෙන්නත් ඔයාට ඔලිව් තෙල් ඉතාමත් වැදගත්. ඉතිං ඒ නිසා ඔයාට පුළුවන් ආහාර පිසිම සදහා ඔලිව් තෙල් භාවිත කරන්න.
තුනපහ
කටට රහට දැනෙන්න නම් තුනපහ අනිවාර්යෙන්ම ආහාරයට එකතු කරගත යුතුයි කියලා ඔයා දන්නවානේ. අපි දන්නේ තුනපහවලින් රසය ගුණය ආරක්ෂා වෙනවා කියලා විතරයි. ඔයා දන්නවාද තුනපහ ආහාරයට එකතු කර ගැනීම කොතරම් ආරක්ෂිතද කියලා. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ.තුනපහ වල සුදු ලුණු අන්තර්ගත වෙනවා නේ. මේ සුදු ලූණු මගින් හෘද රෝග ඇති වීම වළක්වාලනවා. ඒ විතරක් නෙමෙයි සුදු ලූණුවල අනත්ර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා ඇතිවීමට එරෙහිව සටන් කරනවා. ඒ නිසා තුනපහ ආහාරයට එකතු කර ගත්තට අවැඩක් නම් කවදාවත් වෙන්නේ නෑ.
තක්කාලී
තක්කාලී කියන්නේ එළවලුවක් විතරක් නෙමෙයි පළතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා කියලා ඔයා අහලා ඇතිනේ. ඒත් ඉතිං ගොඩක් දෙනෙක් එළවලුවල රසය වැඩි කර ගන්න තමයි තක්කාලී භාවිත කරන්නේ. ඔයා තක්කාලී ආහාරයට එකතු කර ගත්තට එයින් ඔයාගේ සිරුරට ලැබන ගුණය ගැන දැනගෙන හිටියේ නෑ නේද. තක්කාලීවල අන්තර්ගත රතු වර්ණය තුළ ලයිකොපෙන් අන්තර්ගතයි. මේ ලයිකොපෙන් ඔයාගේ සම පැහැපත් කර ඔයාට දිදුලන සමක් ලබා දෙනවා. ඒ වගේම පෙනහලු, අමාශගත රෝග, පිළිකා ඇතිවීම වළක්වාලනවා. ඔයාට උණ හෙම්බිරිස්සාව හැදුණම ඉත්මනින් සුව වෙන්න ඕන නම් තක්කාලී ආහාරයට එකතු කර ගැනීම වඩාත් හොඳයි. ඌෂ්ණාධික රෝග ඔයාට පවතිනවා නම් තක්කාලී ආහරායට ගැනීම ටිකක් අඩු කලාට කමක් නෑ.
රතු මිදි
රතු මිදිවල ප්‍රතිඔක්සිකාරක ගුණය යහමින් අන්තර්ගත වෙනවා. ඔයාගේ රුධිරය කැට ගැසුණු අවස්ථාවක රතු මිදි ආහාරයට ගැනීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වා ගත හැකියි. ඔයාගේ සිරුරේ අධික ඌෂ්ණයක් එහෙමත් නැත්තම් දැවිල්ලක් තියෙනවා නම් මිදි ආහාරයට ගැනීම වඩාත් ගුණදායකයි. ඔයා දන්නවාද රතු මිදි ආහාරයට ගැනීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කර ගත හැකියි. ඉතිං ඔයාට නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන නම් රතු මිදි ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.
මාලු වර්ග
ගොඩක් දෙනෙක් මාලු ආහාරයට ගන්නවානේ. ඔයා කොච්චර මාලු ආහාරයට එකතු කර ගත්තත් මාලු වලින් ඔයාගේ සිරුරට ලැබෙන ගුණය ගැන නම් ඔයා දැනුවත් නැතුව ඇති. අල්මයිසර්, ආඝාත රෝග තත්ත්වයන්ට මාලු ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි. ඒ විතරක් නෙමෙයි කුඩා මාලු වර්ග ආහාරයට ගැනීම මගින් ඔයාගේ සිරුරට අවශ්‍ය කැල්සියම් නොඅඩුව ලබාගත හැකියි. ඉතිං ඒ නිසා හැකි සෑම විටම මාලු ආහාරයට ගන්න අමතක කරන්න එපා.