අපේ හැඩකාරියෝ තවමත් දන්නේ පාන් ටෝස්ටරයෙන් පාන් පෙති දෙක තුනක් හදා ගන්න විතරමයි නම්, අදින් පසුව ඒ ස්ථාවරයෙන් මිදිලා විවිධ විදිහට කෑම ජාති ටෝස්ටරය භාවිතා කරලා හදාගන්න පුලුවනි.
බිත්තර රොටී
අතන මෙතැන තියෙන හීල් වෙච්ච බිත්තර රොටී වෙනුවට නිවසේදී ටෝස්ටරයෙන් බිත්තර රොටියක් හදා ගැනීමට ඔබට පුලුවනි.
පාන් පිටි කෝප්ප දෙකක්
තෙල් මේස හැඳි 3 ක් ලුණු
සිහින්ව කපා ගත් කැරට්, ලීක්ස් වගේ එලවලු සමග බිත්තර 1ක මිශ්‍රණයක්
01. දැන් පාන් පිටියි ලුණුයි තෙල් ටිකක් සමග හොඳින් කලවම් කරලා එතැන් පටන් වතුර එක් කරමින් මෙලෙක් වෙන තෙක් ඒ කියන්නේ අතේ අල්ලන්නේ නැති පදමට අනාගන්න.
02. දැන් මේ පුංචි බෝල කීපයක් හදලා එම බෝලවලින් වලින් බාගයක් වැහෙන ගානට තෙල් දාලා පැය හතරක් වගේ තියන්න.
03. පැය දෙකකින් පස්සේ බෝල ටික අනිත් පැත්ත හරවන්න..
04. පැය හතරකට පස්සේ මේ හදාගත් පොඩි බෝල වලින් එක් බෝලයක් අරන් හොඳට තුනී කරගෙන ටොස්ටර් එකේ ප්‍රමාණයට කොටුවක් කපාගෙන ටොස්ටරෙට දාගන්න.
05. වැදගත්ම දේ තමයි මේකෙ මැද වලක් වගේ කොටසක් හිටින්න දාගෙන එයට ඔබ හදා ගත් එළවලු බිත්තර මිශ්‍රණය දාලා කලින් තුනී කරගත්ත ඩෝ එකෙන් කොටසකින් වහලා ටෝස්ටර් කරගන්න.
ටෝස්ටර් පොල් රොටී
අපේ ගැහැනු දරුවෝ පොල් රොටී පිටි පදම ගැන දන්නවානේ… දන්නේ නැත්තනම් ඔන්න මෙහෙමයි. පිටි වලට පොල්, ලුණු සහ බේකිං පවුඩර් එකතු කරල අනාගන්න.
දැන් මේ රොටී මිශ්‍රනයෙන් කුඩා බෝලයක් හදල එය හොඳින් තුනී කරන්න. මැදින් වලක් වගේ තියල එතැනට එළවලු මිශ්‍රණයක් තබන්න. ටෝස්ටරයේ බටර් ටිකක් ගාලා පොල් රොටී මිශ්‍රණය එහි තබන්න. රන්වන් පාටට හැරුනාම ඉතින් ආහාරයට ගතහැකියි.
චොකෝ චිප්ස්
හැඩකාර ගැහැණු දරුවන් චොකලට් රසයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම චොකලට් මොලයටත්, මතකයටත් හොඳ නිසා වරදකුත් නැහැ. ටෝස්ටරයෙන්ම චොකලට් චිප්ස් කේක් එකක් හදාගන්න විදිහයි මේ.
බටර් හෝ මාගරින් 125g
සීනි 125g
බිත්තර 2
නැවුම් කිරි 30ml
පාන් පිටි 250g
බේකින් පවිඩර් තේ හැඳි 1/2
බටර් හෝ මාගරින් 125gක් දිය කර ගන්න. සීනි 125gක් බටර් වලට එකතු කර ක්‍රීම් වන තුරු බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණය ක්‍රිම් වෙද්දී බිත්තර දෙකක් ගත්තනේ. එයින් එකක් දාලා බීට් කරන්න. හොඳට බීට් වුනාම අනිත් බිත්තරයත් දාගන්න. කේක් එකටම අවශ්‍ය වෙන්නේ බිත්තර දෙකයි. දැන් මේ මිශ්‍රණයට නැවුම් කිරි මිලි ලීටර් 30, වැනිලා මේස හැන්දක් එනතු කරලා බීට් කරන්න. දැන් බීට් වුනාට පස්සේ පාන් පිටි ටිකයි බේකින් පවිඩර් තේ හැඳි 1/2 කලවම් කරලා අවසාන අදියරේදී චොක්ලට් චිප්ස් එකතු කරලා කලවම් කරගන්න. ටෝසටරයේ බටර් ස්වල්පයක් ආලේප කරලා මේ මිශ්‍රණය එකතු කරලා ටෝස්ටරය ඕෆ් වුනත් තවත් විනාඩි දෙකක් ටෝස්ටරය අරින්නේ නැතුව තියන්න. ඇරලා බලන විට තෙත ගතියක් තිබුනොත් තවත් ටික වේලාවක් තියන්න.
ටෝස්ටර් ඔම්ලට්
ටෝස්ටර් ඔම්ලට් හදන්න කලින් මෙන්න මේ දේවල් ටික ලං කර ගන්නකෝ. පිටි කෝප්ප 1, ඊස්ට් තේ හැඳි 1, සීනි තේ හැඳි ½, ඔලිව් තෙල් මේස හැඳි 1, ලුණු තේ හැඳි ½, මොසරැල්ලා චීස්, තක්කාලි සෝස්
දැන් භාජනයකට පිටි, සීනි, දාගෙන එයට ඔලිව් තෙල් ටිකත් ලුනු ටිකත් එකතු කරගන්න. මද උණුසුම් වතුර අරගෙන ටිකින් ටික එකතු කරගෙන අතේ නොගෑවෙන පදමට හොඳට අනා ගන්න. තෙත පිරිසිදු රෙදි කෑල්ලකින් වසා පැයක් විතර මෙම ඩෝ එක පැත්තකින් තියාගන්න. ටෝස්ටරයේ ඔලිව් තෙල් හෝ බටර් ආලේප කර සාදාගත් ඩෝ එක පිටි අතුරන ලද ලෑල්ලක දමා ටෝසටරයේ ප්‍රමාණයට තුනී කරගන්න. බටර් ටිකක් ටොස්ටරෙ ගා ගෙන හදා ගත්ත තුනී කර ගත් මිශ්‍රණය ටෝස්ටරේට දාන්න. එයට උඩින් මොසරැල්ලා චීස්, තක්කාලි සෝස් සහ දාගන්න. එයට උඩින් ඒ විදිහටම තුනී කරගත් ඩෝ එකකින් වසා ටෝස්ට් කරගන්න
සමෝසා
සමෝසා හදාගන්න ස්ප්‍රීන්ග් රොල් ශීට් හතරක්, අල, ලීක්ස්, අබ, ගරම් මසාලා, මිරිස් කුඩු වගේ දේවල් අවශ්‍ය වෙනවා.
මුලින්ම තෙල් ටිකක් ලිප තියල අබ, සූදුරු තෙම්පරාදු කර ගන්න. දැන් එයටම තම්පා පොඩි කර ගත් අල, කපා ගත් ලීක්ස්, ළූණු, ග්‍රින් පීස් ආදිය එකතු කරල කලවම් කරන්න. විදිහට මිරිස් කුඩු ටිකක්, කහ ටිකක් සහ ගරම් මසාලා ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ස්ප්‍රීන්ග් රොල් ශීට් එකක් ටෝසටරයේ ප්‍රමාණයට කපා ගන්න එකින් එක අරගෙන සාදාගත් ෆිලින් එක පුරවගෙන කොන් වලට බිත්තර සාරු ගා තව ස්ප්‍රින්ග් රොල් ෂීට් එකකින් වසා බටර් ගාගත්ත ටෝස්ටර් එකෙ තියල ටෝස්ටර් කරගන්න.
එන්. ඒ. පී. සී