ඩිප්‍රෙශන් ගැන ඔබ දැන ගත යුතුම මිථ්‍යාවන් සහ සත්‍යයන්

September 29, 2020
318
Myths and facts about depression
Depression හෙවත් මානසික අවපීඩනය කියන්නේ සාමාන්‍යයෙන් ඔබට දැනෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි ඍණාත්මක විදිහට බලපාන පොදු සහ බරපතල රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් කෙනෙක් දුකෙන් ඉන්න බවක් පෙනෙන්නට තිබෙන පමණින්ම ඔහු හෝ ඇය මානසික අවපීඩන තත්ත්වයකින් පෙළෙනවා කියලා අපිට නිගමනය කරන්න බෑ. නමුත් ඔහුගේ හෝ ඇයගේ දුක් මුසු හැසිරීම් සහ හැඟීම්, අවසානයක් නැතුව දිගින් දිගටම පවතිනවානම්, එම තත්ත්ව​ය ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා ජීවිතයේ ​කටයුතුවලට බලපෑමක් සිදු කරනවානම් ඒකෙන් හැඟවෙන්නේ ඔහු හෝ ඇය මානසික අවපීඩන තත්ත්වයකින් පෙළෙන බ​ව වෙන්න පුළුවන්.

මානසික අවපීඩනය කියන්නේ බරපතල රෝගයක්. ඒ වගේම ඒක ප්‍රතිකාර කරන්නත් පුළුවන් රෝගයක් බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මානසික අවපීඩනය සම්බන්ධයෙන් ගොඩක් මිථ්‍යා මත ද මිනිස්සු අතරේ පවතිනවා. ඒ නිසා අද අපි ඔබට කියන්නම් මිථ්‍යාවන් සහ සත්‍යයන් වෙන් කරලා හඳුනා ගන්නේ කොහොමද කියලා...  

මිථ්‍යාවක් : වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් මානසික අවපීඩනය පරද්දන්න පුලුවන් කියා සිතීම
පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවකදී මානසික අවපීඩනය බලපාන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා මෙම පොදු රෝගය සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අදහස් සහ බාගයක් හරි බාගයක් වැරදි අදහස් බහුලව දකින්න තියනවා. ඒ වගේ එක අදහසක් තමයි ඔබ සම්පූර්ණයෙන්ම රැකියාව වෙනුවෙන් කාර්‍ය බහුල වුනාම ඒකෙන් ඔබට හොඳක් දැනෙනවා කියන කතාව. නමුත් මානසික අවපීඩනය කියන්නේ වෙනස්ම සතෙක්. ප්‍රමාණය ඉක්මවලා අධිකව වැඩ කිරීම කියන්නේත් ඇත්ත වශයෙන්ම මානසික අවපීඩනයේ සංඥාවක් වෙන්න පුලුවන්, බොහෝ වෙලාවට පිරිමින් තුළ.

මිථ්‍යාවක් : එය සැබෑ රෝගයක් නෙමෙයි
මානසික අවපීඩනය කියන්නේ බරපතල වෛද්‍ය තත්වයක් සහ ඇමරිකාව වගේ රටවල වැඩිහිටියන්ගේ ආබාධිතභාවයට ද ප්‍රධාන වෙන හේතුවක්. නමුත් ඒක තවමත් සාමාන්‍ය එදිනෙදා දුකෙන් වෙන් කරලා හඳුනා ගන්න බැරුව මිනිස්සු ව්‍යාකූල වෙලා ඉන්නවා. මෙම රෝගය පිළිබඳව ජීව විද්‍යාත්මක සාක්ෂි ලබා ගන්නේ ජාන විද්‍යාව, හෝමෝන, ස්නායු සෛල ප්‍රතිග්‍රාහක සහ මොළයේ ක්‍රියාකාරිත්වය වගේ අංශ අධ්‍යයනය කිරීමෙනුයි. මානසික අවපීඩනයේදී අපේ සිතේ ස්වභාවයන් පාලනය කරන මොළයේ ප්‍රදේශවල ඇති ස්නායු පරිපථ අසාමාන්‍ය විදිහට ක්‍රියා කරන බව පෙන්නුම් කරනවා.

සත්‍යයක් : පිරිමින් යම්කිසි මානයක් ඇතුලත ක්‍රියාකරනවා
මානසික අවපීඩනයෙන් පෙළෙන පිරිමි පුද්ගලයෙක් ගැන එයා වටේ ඉන්න ආදරණීයයන්ට සහ එයාගේ වෛද්‍යවරයාට පවා එක එල්ලේම හඳුනා ගන්න බෑ. ඒකට හේතුව පිරිමින් කාන්තාවන්ට වඩා ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීම අඩු නිසායි - සමහර මානසික අවපීඩනයෙන් පෙළෙන පිරිමින් තමන් දුකෙන් හෝ මානසිකව පහතට ඇද වැටිලා ඉන්නේ කියලා පිට අයට ලේසියෙන් පෙන්නන්නේ නෑ. ඒ වෙනුවට ඒ වගේ පුද්ගලයින් අධිකව කෝප ගන්න පුලුවන්. අධිකව කෝප සහගත හැසිරීම් දක්වන්න පුලුවන්. නිතරම නොසන්සුන් වෙන්න පුලුවන්. ඔවුන් අනිත් අයට නිතරම බැණ වැදීමට පවා ඉඩ තිබෙනවා. සමහර පිරිමින් නොසැලකිලිමත් ලෙස හැසිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මානසික අවපීඩනයට මුහුණ දීමට උත්සාහ කරනවා.

මිථ්‍යාවක් : මානසික අවපීඩනය කියන්නේ තමන් ගැනම ඇති අනුකම්පාවක්
අපි ජීවත් වෙන සංස්කෘතිය ඇතුළේ පුද්ගලයෙක්ගේ අධිෂ්ඨාන ශක්තිය, බලය සහ දැඩි බව අගය කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ජීවිතයේ ගැටළු වලදී දුක කියන, අඬන පුද්ගලයන්ව හරිම ඉක්මනට දුර්වලයන් කියලා ලේබල් කිරීමට උත්සාහ කරනවා. නමුත් සායනික මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින් උදාසීන හෝ තමන් ගැනම කණගාටුව පෙන්වන පුද්ගලයින් නොවේ. මානසික අවපීඩනය කියන්නේ වෛද්‍යමය රෝගයක් - මොළයේ සිදුවන වෙනස්කම් හා සම්බන්ධ සෞඛ්‍ය ගැටළුවක්. අනෙකුත් රෝගාබාධ වගේම ඒ තත්ත්වය සඳහා ද සුදුසු ප්‍රතිකාර ලබා දීම මගින් තත්ත්වය සමනය කරගන්න පුලුවන්.

සත්‍යයක් : ඕනෑම කෙනෙකුට මානසික අවපීඩනයට පත් වෙන්න පුලුවන්
සාහිත්‍යමය පුද්ගලයෙකු උනත් ෆුට්බෝල ගහන කෙනෙක් උනත්, කුලෑටි කෙනෙක් උනත් බොහෝ සුහදශීලී කෙනෙක් උනත් ඕනෑම ජනවර්ගයක, ඕනෑම වෘත්තියක ඉන්න ඕනෑම කෙනෙක්ට මානසික අවපීඩනය ඇති වෙන්න පුලුවන්. මෙම රෝගය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ දෙගුණයකින් ඇති වෙන්න පුලුවන් නමුත් කාන්තාවන් ඒ සඳහා උපකාර පැතීමට වැඩියෙන් උත්සහ කරනවා. බොහෝ විට කාන්තාවන් තුළ ප්‍රථම වරට අවපීඩන තත්ත්ව දකින්න පුලුවන් වෙන්නේ ඔවුන්ගේ නව යොවුන් වයසේදී හෝ වයස අවුරුදු 20 ගණන් වලදීයි. නමුත් මානසික අවපීඩනය ඕනෑම වයසක දී වර්ධනය වෙන්න පුලුවන්. දරුණු පෞද්ගලික අත්දැකීම්, සමහර විට බරපතළ රෝගාබාධ සඳහා අවදානමක් තියන පුද්ගලයින් තුළ ද මානසික අවපීඩනය හට ගන්නවා. 

සත්‍යයක් : ඒ තුළ සෙමින් සෙමින් ගිලෙන්න පුලුවන්
මානසික අවපීඩනය කියන්නේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන තත්ත්වයක්. ඒක හදිසි රෝගයකට වඩා හඳුනා ගැනීම අපහසු වෙනවා. එම තත්ත්වයේදී ඔබේ නරක දවසක් වුණත් වඩාත් රළු දවසක් බවට හැරෙන්න පුලුවන් අතර ඔබ වෘත්තීමය වැඩ කටයුතු, අධ්‍යාපන වැඩ කටයුතු හෝ සමාජීය අවස්ථා මඟ හැරීම ආරම්භ කරනවා. Dysthymia ලෙස හැඳින්වෙන මානසික අවපීඩන ඛාණ්ඩය ඔබ තුළ නිදන්ගත, සැඟවුණු මට්ටමේ රෝගයක් විදිහට වසර ගණනාවක් පුරා පවතින්න පුලුවන්. ඒක ඇත්තටම ඔබේ වෘත්තිය කටයුතු හා සබඳතා නිහඬව අඩපණ කරන ව්‍යාධියක්. සාමාන්‍යයෙන් නිසි ප්‍රතිකාර ලබා ගත්තාම ඒ සමඟ බොහෝ දෙනෙක්ට සති 4-6 ක් තුළ සැලකිය යුතු සහනයක් දැනෙන්න පටන් ගන්නවා.

මිථ්‍යාවක් : මුළු ජීවිත කාලය පුරාම ඖෂධ බොන්න වෙනවා 
ඖෂධ කියන්නේ මානසික අවපීඩනය දුරු කිරීම සඳහා භාවිතා කරන එක මෙවලමක් පමණයි. සැලකිය යුතු ආකාරයකින් පවතින මානසික අවපීඩනය සඳහා බොහෝ විට ඖෂධ බෙහෙවින් උපකාරී වෙනවා. නමුත් ප්‍රතිකාර කරනවා කියන්නේ ඖෂධ විතරක් ලබා දෙනවා කියන එක නෙවෙයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ මෘදු හා මධ්‍යස්ථ මානසික අවපීඩනය සඳහා “කතා කිරීමේ” චිකිත්සාවට අමතරව සුළු වශයෙන් ඖෂධ ප්‍රතිකාර ද ක්‍රියාත්මක කරන බවයි. ඔබ විෂාදනාශක ඖෂධ භාවිතා කළත් ඒවා ජීවිත කාලය පුරාම භාවිතා කරන්න ඕනේ වෙන්නේ නෑ. ඔබේ ඖෂධ නැවැත්වීමට සුදුසු කාලය තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කරයි. 

මිථ්‍යාවක් : මානසික අවපීඩනයෙන් පෙළෙන අය ගොඩක් අඬනවා
හැම වෙලාවේම එහෙම වෙන්නේ නෑ. සමහර අය මානසික අවපීඩනයෙන් පෙළුනත් අඬන්නේ නැ. ඒ වෙනුවට ඔවුන් මානසිකව "හිස්" වන අතර ඒ වගේ පුද්ගලයන්ට නිෂ්ඵල බවක් හෝ නොවටිනා බවක් දැනෙනවා. හැඬීම, අධික ලෙස සිනාසීම වගේ රෝග ලක්ෂණ පෙන්වූයේ නැති උනත්, මේ රෝග තත්ත්වය මිනිසුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීම වළක්වනවා සහ පවුල් ජීවිතයට හානි කරනවා.

සත්‍යයක් : මානසික අවපීඩන තත්ත්වයන්ට පවුලේ ඇති ඉතිහාසය ඔබේද දෛවය නොවේ
ඔබේ පවුල් ඉතිහාසය තුළ මානසික අවපීඩනයට ගොදුරු වුණ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ හා සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා නම් ඒ තත්ත්වය ඔබටත් වැළඳෙන්න ඇති ඉඩ කඩ තිබෙනවා. නමුත් ඔබට නියත වශයෙන්ම වැළඳෙනවා කියලා ඒකෙන් කියවෙන්නේ නෑ. මානසික අවපීඩනය සම්බන්ධව පවුල් ඉතිහාසයක් සහිත පුද්ගලයින්ට මානසික අවපීඩනයක් ඇති වුණොත් තමන්ගේ මුල් කාලයේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට වහාම ඒ ගැන පියවර ගන්න පුලුවන්. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී ඇති වෙන ආතතිය අඩු කර ගැනීමට උපදෙස් ලබා ගැනීම හෝ වෙනත් වෘත්තීයවේදියෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට උත්සහ කරන්න ඔවුන්ට පුලුවන්.

මිථ්‍යාවක් : මානසික අවපීඩනය කියන්නේ වයසට යාමේ කොටසක්
වයසට යාමේදී අපි කවුරුත් මානසික අවපීඩනයට පත් වේවි යැයි යන හැඟීම සත්‍යයක් නොවේ. නමුත් ඒක ජීවිතයේ කොයි මොහොතක හරි හට ගත්තාම ඒ තත්ත්වය නොසලකා හරින්න බෑ.
ගොඩක් වෙලාවට වැඩිහිටි පුද්ගලයින් ඔවුන්ගේ දුක සැඟවීමට උත්සහ කරනවා. මේ තුලින් හරියටම මේක රෝගයක්ද යැයි සිතා ගන්න බැරි රෝග ලක්ෂණ ඔවුන් තුළින් මතු වෙන්න පුලුවන්. ඔවුන් ගන්නා ආහාරවල හොඳ රසයක් නොදැනෙන බව කීම, කැක්කුම් හා වේදනාවන් නරක අතට හැරීම, නැත්නම් ඔවුන් නිදියගන්නා රටාවන් වෙනස් වීම වගේ ලක්ෂණ ඔවුන් තුළින් පෙන්නුම් කරනවා. විවිධ සෞඛ්‍යමය ගැටලු ද වැඩිහිටියන්ගේ මානසික අවපීඩනයට හේතුවක් වෙන්න පුලුවන්. මානසික අවපීඩනය හෘදයාබාධ හෝ ශල්‍යකර්මයකට පසු එය සුව වීමද මන්දගාමී කරන්න පුලුවන්.

මිථ්‍යාවක් : ප්‍රශ්න ගැන කතා කරන එක හොඳ දෙයක් නෙවෙයි
කියමනක් තියෙනවනේ ප්‍රශ්න ගැන පිටට කියන්න එපා කියලා. ඒත් විශේෂඥවරුන් කල පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන්නේ, ඔබ ඔබේ ප්‍රශ්න කතා කලයුතු බවයි. එයින් ඔබට හොඳක් සිදුවන බවයි. හැබැයි ඔබ ඔබේ විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කල යුතුයි. ඒ වගේම වෛද්‍යවරයෙකු සමඟ ඔබේ දුක් සහගත බව, පීඩන ස්වභාවය ගැන කතා කල යුතුයි.

සත්‍යයක් : ධනාත්මක සිතුවිලි ඔබට රුකුලක්
'මට බෑ' කියා සිතනවාට වඩා 'මට පුලුවන්' යැයි සිතීම. 'ඔවුන් මා ගැන මොනවා සිතනවාද දන්නේ නෑ' කියා සිතනවාට වඩා 'ඔවුන් මොනවා සිතුවත් එය මගේ ප්‍රශ්නයක් නොවේ' යැයි සිතීම වගේ සිත තුල ඇතිවන සිතුවිලි ධනාත්මක පැත්තට හරවන්න උත්සාහ කරන්න ඕනේ.

මිථ්‍යාවක් : නව යොවුන් දරුවන් කොහොමත් සතුටින් නෙවෙයිනෙ ඉන්නේ
මූඩ් ගහල ඉන්න එක, කේන්ති ගියගමන් ඉන්න එක සහ නිතර තර්ක කරන්න එන එක නව යොවුන් දරුවන්ගෙන් නිතර දක්නට ලැබුනත්, ඒ එක්කම ඔවුන් ‘නිතරම’ කලකිරීමෙන් සහ කේන්තියෙන් ඉන්නවා පේනවා නම් මෙය ඩිප්‍රෙශන් තත්වයක් වෙන්න පුලුවන්.
යොවුන් දරුවන් 11 දෙනෙක්ගෙන් එක් අයෙකුට ඩිප්‍රෙශන් තත්ත්වය තිබෙන බව සොයාගෙන තියෙනවා. යහළුවන් සමඟ පෙර මෙන් සතුටින් නොසිටීම, තරහ යෑම, කැමති ක්‍රියාකාරකම් වල නොයෙදීම, පෙර නොවූ ලෙස එක පාරටම ලකුණු අඩු වීම වගේ ලක්ෂණත් ඔවුන්ගෙන් දැකගත් හැකියි.

සත්‍යයක් : ව්‍යායාම කිරීම හොඳ බෙහෙතක්
මෑතකදී කල පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ, සාමාන්‍ය ලෙස දිනචර්‍යාවක් ලෙස ව්‍යායාම කිරීම ඩිප්‍රෙශන් තත්තවය අඩු කරන්න උදවු වෙන බවයි.

සත්‍යයක් : සෑම විටම එය මානසික අවපීඩනයක් නොවේ
ජීවිතයේ මුහුණ දෙන සමහර අවස්ථා නිසා ඇතිවන තත්ත්වයන් ඩිප්‍රෙශන්ම නොවේ. මරණයකදී, දික්කසාදය, රැකියාව අහිමි වීම් හෝ රෝග තත්වයන් නිස ඇති වන සිත් තැවුල් සැම විටම ඩිප්‍රෙශන් නොවේ. නමුත් දුක් සහගත බව දිගින් දිගටම, දවසේ වැඩි කාලයක් පවතිනවා නම්, ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. සමාන්‍ය තත්ත්වයකදී නම් වෙන කෙනෙකුට ඔහුව සිනා ගැස්වීමට හෝ ඔහුගේ වේදනාවෙන් ටිකකට හෝ ඔහුව වෙන අතකට යොමු කරන්න පුලුවන්.

සත්‍යයක් : හෙට දිනක් ගැන ඇති බලා පොරොත්තුව හොඳ දෙයක්
ඩිප්‍රෙශන් ත්ත්ත්වයේ ගැඹුරටම ගිය විට, කිසි දා නැවත හොඳ දිනක් නොපැමිණෙන බව හැඟෙනවා. එය ඇත්තටම රෝගයේ ලක්ෂණයක්. ප්‍රතිකාර මගින් මේ තත්ත්වය යහපත් අතට හරවා නැවත සාමාන්‍ය සිතුවිලි ඇති කිරීමට පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,153
   6,284

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,491
   1,124

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Things Guys Notice When You First Meet
   47,274
   225

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි
Day to day protection ideas from cover 19
   2,092
   181

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Day to day tips for a outstanding beauty
   21,551
   179

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ

Latest Articles

Most Viwed