කෙනෙක්ගේ බාහිර පෙනුම දිහා බලලා විතරක් ඔහු මොන වගේ කෙනෙක් ද කියලා තීරණය කරන්න බැහැ. විශේෂයෙන්ම ඔබ කෙනෙක් සමඟ සම්බන්ධතාවයක් පටන් ගන්න අදහස් කරන් ඉන්නවා නම්, ඔහු ඔයාව හම්බ වෙන්න එන්නේ වෙන කවරදාටත් වඩා හොඳ පෙනුමකින්. ඉතින් ඒ නිසා ඔබ ආදරය කරන තරුණයා ඇත්තටම ප්‍රියමනාප හා වටිනාකම් වලින් යුතු චරිතයක් ද යන්න එයාගේ පෙනුමෙන් තීරණය කරන්න අමාරුයි. පිරිමියෙක් විසින් පිටතින් පෙන්වන ලක්ෂණ වලට වඩා ඔවුන්ගේ ඇතුලාන්තයේ ඔහුන්ටම සුවිශේෂී වන යම් යම් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඔයාගේ ජීවිතයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරන්න බලාපොරොත්තු වෙන ඔහුටත් මේ ගුණාංග තියනවාද කියලා සොයලා බලන්න.
ඒ වගේම අද හැඩකාරී අපි ඔයාට පිරිමියෙක් තුළ තිබිය යුතු හොඳම ගුණාංග ගැන තමයි කියන්න හිතුවේ. ඔයාට කෙනෙක් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් මේ ගුණාංග ඔහුට තියනවාද කියලා පරීක්ෂා කරන්න.
1. ආත්ම විශ්වාසය
ආත්ම විශ්වාසයක් ඇති පිරිමියෙක්ට තමන්ගේ අවශ්‍යතා මොනවාද කියලා දන්නවා. ඒ අතර අනිත් අය තමන් ගැන මොකක් සිතයිද යන්න ගැන ඔහු කරදර වෙන්නේ නැහැ. ඔහු ස්ථීර චරිතයක් වන අතර තමන්ට අවශ්‍ය දේ කොහොම හරි ලබා ගන්නවා. මේ වගේ පිරිමින් ටිකක් දුර්ලභයි. ඒ වගේම ඔවුන් තමන් වගේම එකම මට්ටමේ විශ්වාසයක් හා ස්ථීරභාවයක් සහිත කාන්තාවන්ට ආකර්ෂණය වෙනවා. ඉතින් ඔයත් ඔයාගේ සාරධර්ම හා වටිනාකම් පිළිබඳ අවධානය යොමු කරන්න. මේ කාරණා සැමවිටම පිරිමියෙක් තුළින් සොයා බැලිය යුතු හොඳ ගුණාංගයි.
2. හොඳ සවන්දෙන්නෙක්
මේක සැමවිටම ඔබ පිරිමියෙක් ගැන සොයා බලද්දී පරීක්ෂා කරන්නම ඕනේ ක්ලැසික් ගුණාංගවලින් එකක් කියලා ගොඩක් අය කියනවා. බොහෝ වෙලාවට අලුත් සම්බන්ධතාවයක් කඩිමුඩියේ පටන් ගත්තාම ඒ වගේ පිරිමින්ට කාන්තාවට සවන් දීමේ වැදගත්කම අමතක වෙනවා. ඒ නිසා ඔයා සමීප වෙන්න බලාපොරොත්තු වෙන කෙනා හොඳ සවන්දෙන්නෙක් වීම අත්‍යවශ් කාරණයක්. ඒ නිසා ඔයාගේ හැඟීම් සහ අත්දැකීම් ඔහුට සංනිවේදනය කරන්න පහසු වෙනවා. ඔහු ඔයාට හොඳින් සවන් දෙන්නේ නම්, එයින් අදහස් කරන්නේ ඔහු ඔයා ගැන ගැඹුරින් සැලකිලිමත් වන බවයි. ඔයා ඔහු සමඟ ඔයාගේ හැඟීම් බෙදා ගන්නකොට ඔයාටත් වඩාත් හොඳ හැඟීම් ඇති වෙනවා.
3. සෑම කෙනෙකුටම ආචාරශීලීයි
ඔහු අනිත් අයට සලකන ආකාරය, විශේෂයෙන් ඔහු ළඟින් ඇසුරු කරන අය ළඟදි ඔහු යහපත් පුද්ගලයෙක් ව්දිහට පෙනී සිටිනවාද යන්න සොයා බලන්න. ඒ කාරණය පරීක්ෂා කිරීම සඳහා සරල ක්‍රමයක් නම් ඔයා ඔහු සමග රාත්‍රී ආහාර වේලකට එළියට යන්න. එතනදී ඔහු වේටර්ට සලකන ආකාරය නිරීක්ෂණය කරන්න. හොඳ පිරිමියෙක් සෑම විටම ඇසුරු කරන අයට ආචාරශීලී වෙනවා හා ඉවසිලිවන්ත වෙනවා.
4. විවෘත මනසක් තිබීම
ලෝකය දියුණුවෙමින් පවතින අතර, ඒ සමඟම කාන්තාවන් වන අපිත් වඩා හොඳ අනාගතයක් කරා යන මාර්ගය සොයා ගන්න ඕනේ. ඔබේ පෙම්වතා ඔයාගේ ජීවිතයේ ප්‍රගතිය සහ ජීවන රටාව තේරීම් ගෙන ඔයාව ධෛර්යමත් කරන්නේ නැත්නම් ඔහු ඔයාගේ මතයන් වලට සහ ජීවිතයට සම්පූර්ණයෙන්ම ගරු නොකරන බව පැහැදිලියි. ඔයාට සැමවිටම ඔහුගේ හදවතේ තැනක් ලබා ගැනීමට සහ ඔහුගේ ගෞරවය ලබා ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඔහුට තියෙන්නේ යල් පැන ගිය මානසිකත්වයක් නම් ඒ සම්බන්ධතාවයෙන් ඈත් වෙන එක වඩා හොඳයි.
5. ඔයාව ඔහුගේ ප්‍රමුඛතාවය බවට පත්කර ගනියි
ඔයා ඔහුට කැමති තරමටම ඔහුත් ඔයාට කැමති නම් හෝ ඔහුට ඔයා ගැන හැඟීමක් තියෙනවා නම් නිතරම ඔහු ඔයාව සහ ඔයාගේ හැඟීම් වලට ඔහුගේ ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඔයා ඔහුගේ ප්‍රමුඛතාවය බවට පත් වෙනවා නම් ඒ සම්බන්ධතාවය තව දුරටත් ඉදිරියට ගෙනයන්න පුළුවන් සහ බලාපොරොත්තුවෙන් හිටපු සම්බන්ධතාවය පටන් ගන්න පුළුවන්. ඒ ආදරය ඔයාට සැනසීමක් සහ ආරක්ෂාවක් ලබා දෙයි. ඒකෙන් පෙනී යන්නේ ඔහු ඔයා සමග සීටිමට කැමැත්තෙන් සිටින බවයි.
6. සියල්ල ඔයා සමඟ බෙදා ගනියි
ඔයා ඔහුගේ ජීවිතයේ නැතුවම බැරි කොටසක් නම් ඔහු තමන්ගේ අදහස්, සිහින හා අත්දැකීම් ඔයා සමඟ බෙදා ගැනීමට පටන් ගන්නවා. ඔයා ඉදිරියේ මානසික වශයෙන් අවදානමට ලක්වීමට ඔහු කිසිම බියක් දැනෙන්නේ නෑ. ඒකෙන් පෙනී යන්නේ ඔහුට හැඟීම් ගැඹුරින් දැනෙන හදවතක් ඇති බවයි. එ විතරක් නෙමෙයි, ඔහු තමන්ගේ දුර්වලතා ඔයා සමඟ බෙදා ගන්නකොට එයින් පෙනී යන්නේ ඔහු ඔයාව අයිති කර ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.