හැඩකාරියෙක් වුනාම ඉවුම් පිහුම් කලාවේදී යම් පිරිමැස්මක් තිබුනොත් වටිනාකම තවත් වැඩි වෙනවා. ඉතින් අපි පිරිමහගෙන නිවසේ කටයුතු කරන්නේ කොහොමද කියල බලමුකෝ....
හැමදාම බත් පෝරු පිටින් ඉවත දමද්දි අනේ අපරාදේ... කියල ඔබටම හිතේවි. ඒත් මේ ඉවතලන බත්වලින් රසවත් අග්ගලා හදා ගන්න පුළුවනි... හැබැයි ඊට පෙරාතුව මේ ටිකත් කරන්න වෙනවා.
බත් වියලා ගන්නේ මෙහෙමයි..
කුණු කූඩයට නොදමා බත් ටික අරගෙන බන්දේසියක් වගේ පැතැලි තැටියක දමා හොදින් තුනී කරන්න. දැන් මෙය අව්වේ හොඳින් වියලා ගන්න. වියලා ගැනීමේදී තෙතමනය නැති වෙන තෙක්ම වියලා ගන්න. නැත්නම් පුස් ගතියක් ඇති වෙන්න පුලුවනි.
දැන් වියලා ගත් බත් සුලං නොවදින සේ අසුරා තබන්න. වියලා ගත් බත් කර නොවන සේ කබලේ බැද නිවුනු පසු අසුරා ගන්නත් පුලුවන්.
ඔන්න අග්ගලා හදන වේලාව ඇවිත්…
අවශ්‍ය දේ :
වියලා ගත් බත් කෝප්ප දෙකක් ග්‍රෑම් 300 ක් තරම්
සීනි ග්‍රෑම් 100 ක්
හකුරු ග්‍රෑම් 50 ක් පමණ
පොල් මේස හැඳි පහක්
ලුණු ස්වල්පයක්
කරදමුංගු ඇට කීපයක්
එනසල් ඇට කීපයක්
ලියාගත් කජු මද පහක්
සාදාගන්නේ මේ විදිහටයි...
01. බත් කෝප්ප දෙක කබලේ බැදගෙන හොඳින් පිටි කර ගන්න.
02. කැබැලි නැති වෙන සේ හලා ගන්න.
03. මුලින්ම සීනි සහ හකුරු හොඳින් උතුරුවා ගන්න. මෙය නූලක් සේ හැන්දේ ඇදෙන පදමට උනුකරගන්න. ලුණු, එනසල්, කජුමද සහ කරදමුංගු මෙයටම එක් කරන්න.
04. බැද පිටි කර ගත් පිටි සහ පොල් එකට අතින් කලවම් කරන්න. දැන් පැණි බිමට ගෙන ටික වේලාවක් නිවෙන්න තබා අනාගත් පිටි එක් කරන්න පටන් ගමු.
05. මේ පිටි මිශ්‍රණය ටිකින් ටික එක් කරන්න. ඊට හේතුව සමහර විට අඩු වැඩියක් වුනොත් වෙනස් කරන්න පුලුවන් නිසා. පැණි වැඩි වුනොත් පමණක් පටි එකතු කරමින් අනාගනන් පුලුවනි. මේ පිටි බොහොම ඉක්මනින් පැණි උරා ගන්නවා. ඒ නිසා ටික ටික එකතු කරන්න.
06. දැන් පැණි සහ පිටි මිශ්‍රණය අනාගෙන අතේ කුඩා ගුලි හදා ගන්න. මේ අර ඉවත දාන බත් කියලා කාටවත් හිතාගන්න බැරි වේවි..
එන්.ඒ.පි.සි