බෝ නොවන රෝග වලින් අද පිඩා විදින්නේ වැඩිහිටියන් විතරක් නෙවෙයි. දියවැඩියාව, හතිය, ආතරයිටීස් වගේ බොහොමයක් ලෙඩ රෝග වලට කුඩා වයසේදීම දරුවන් ගොදුරු වෙනවා. ඒ නිසා ඔයාගේ දරු පැටියාගේ සෞඛ්‍ය ගැන ඔබ වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුමයි. ආතරයිටිස් කියන්නේ ඔයාගේ දරු පැටියට ඇති වෙන්න පුළුවන් එක් රෝගී තත්වයක් විතරයි ඒ ගැන දැනුවත් උනොත් ඔයාගේ දරු පැටියව මේ අවදානමෙන් මුදවා ගන්න පුළුවන්.
මේ රෝගය වැළඳෙන වයස් සීමාව විදිහට වයස අවුරුදු 16ට අඩු කාල සීමාව දක්වන්න පුලුවන්. විශේෂයෙන් අවුරුදු 7-12 අතර දරුවන්ට මේ රෝගය හට ගැනීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. ඒ වාගේම වයස 15-16 අතර දරුවන් යම් ප්‍රමාණයකටත් මේ රෝගය වැළඳීමේ අවදානම පවතිනවා. මෙම රෝගී තත්වය ඇති වීමට බලපාන හේතුව නිශ්චිත කිව නොහැකි නමුත් ආරමය සාධක සහ වැරදි ආහාර රටා නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා ඇති වෙන තත්ත්වයක් විදිහටත් ආතරයිටීස් හඳුන්වන්න පුළුවන්.
වර්තමානයේ බොහෝ මව්වරුන් පහසුව නිසා දරුවන්ට ක්ෂණික ආහාර ලබා දීම හුරුවක් කර ගෙන. ඒත් එවැනි දරුවන්ගේ දෛනික ආහාර වට්‌ටෝරුව නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. කෙටි ආහාර වලින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම අධික පිටි, මේදය වගේම උෂ්ණාධික අහාර දරුවන්ගේ සෞඛ්‍යට දැඩි ලෙස අහිතකර බලපෑම් ඇති කරනවා.
මෙහි මූලික ලක්ෂණ ලෙස,
1. අලසකම
2. කායික ක්‍රියාකාරකම් අඩු වීම
3. ආහාර අරුචිය
4. කොර ගසමින් ගමන් කිරීම
5.දරුවා නිතර නිතර රෝගී වීමට පටන් ගැනීම
6. උණ වැනි රෝග ලක්‍ෂණ
7. සන්ධි වල ඇති වන වේදනාව
8. සන්ධි ආශ්‍රිතව ඇති වන රතු පැහැති බව
9. සන්ධි වල ඇති වන තද ගතිය හා හැසිරවීමේ අපහසුතා
10. පෙනීමේ දුර්වලතා
ඒ වගේම වැඩිහිටියන්ගේ ආතරයිටිස් තත්ත්වයන් වලදී වගේම දණහිස, වළලුකර, මැණික් කටුව සහ ඇඟිලිවල සන්ධි යනාදිය ඉදිමෙන්නට පටන් ගන්නවා. ඔය කියන තැන් වගේම කොඳුඇට පේළියේ, උරහිස, ඉඟටිය සහ හකු වැනි තැන්වල ඉදිමීම සිදු වුණත් ඒවා පෙනෙන්නේ නැහැ. ඒ බව සැක හැර දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා.
ඒ වගේම සන්ධි වල වේදනාවක් ඇති වීම ස්‌ථිර රෝග ලක්‍ෂණයක් ව්දියට දකින්න පුළුවන්. උදේට නැගිටගන්න අමාරුයි. අතපය දිගහරින්න අමාරුයි. මේ වේදනාව දවස පුරාම පවතිනවා වගේම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඊළඟට ක්‍රමයෙන් අස්‌ථි විකෘතිතා හටගැනීම සන්ධිවලට හානි වීම් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ කියන හැම රෝග ලක්ෂණයක්ම දරුවා තුල නොතිබුනත් කිහිපයක් පෙන්නුම් කල හැකියි. ඒ නිසා දරුවා ගැන හොඳ අවධානයෙන් හිටියොත් ඔයාට මේ ලක්ෂණ නිවැරදිව හා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්.
මේ කරුණු වලට අමතරව දරුවාගේ අක්‍ෂි ගෝලයේ ඉදිරිපස කොටසේ ආසාදන තත්වයන්ද ඇති වෙන්න පුළුවන්. වැඩි වශයෙන්ම ගැහැනු දරුවන් තුල මේ රෝග ලක්‍ෂණය දකින්න පුළුවන්. පළපුරුදු අක්‍ෂි වෛද්‍යවරයකු ලවා පරික්ෂා කර ගැනීමෙන් මේ තත්ත්වය ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඇස ආසාදනය වීමට ප්‍රතිකාර නොකළොත් ග්ලූකොමා සහ ඇසේ සුද හටගෙන පූර්ණ අන්ධභාවය පවා ඇති වීමට ඉඩ තිබෙනවා.
ඒ නිසා දරුවාට එවැනි බරපතල තත්ත්වයක් ඇති වෙන්න කලින් මුල් අවස්ථාවේදීම මේ තත්ත්වය හඳුනා ගැනීමෙන් දරුවාට වැඩි අවදානමක් ඇති වෙන්න නොදී එයින් ගලවා ගන්න පුළුවන්.