ඔයාට හිතන්න පුළුවන්ද ගොඩක් දෙනෙක්ට තමන්ගේ ජිවිතේ මඟ හැරෙන වැදගත්ම දේ මොකක්ද කියලා. ඒ වෙන මොකුත් නෙවෙයි සතුට. දුක සහ සතුට වරින් වර අපේ ජිවිත වලට යනවා, එනවා. ඒක සාමාන්‍යයි. එත් සමහර පොඩි පොඩි දේවල් තියෙනවා අපේ හිතේ සතුට අපිට ගෙනත් දෙන්න පුළුවන්. බලන්නකෝ ඒ මොනවද කියලා. එදිනෙදා ජිවිතේ ගෙවද්දී මේ දේවල් ළං කර ගත්තොත් ඔයා හැම දවසක්ම සතුටින් ගෙවලා නිම කරාවි.
1. සමාව දෙන්න
සමාව දීම දේව ගතියක් කියල ඔයා අහලා ඇතිනේ. එදිනෙදා දවස ගත කරද්දී අපි අතින් ඕන තරම් වැරදි, අඩු පාඩු සිද්ධ වෙනවා. අනිත් අය අතින් ඔයාට වෙන ඒවගේ පොඩි පොඩි දේවල් වලට කේන්ති අරන් කෑ ගහන එක වෙනුවට ඒවාට සමාව දෙන්න. එකෙන් ඔයාගේ හිතටත් මොනතරම් නම් සැනසීමක් ලැබෙයිද කියලා හිතලා බලන්න.
2. සමාව ගන්න
කලින් කිව්ව කාරනාවේ අනිත් පැත්ත තමයි මේක. ඔයා අතින් වෙන වැරදි වලටත් සමාව ඉල්ලන්න පුරුදු වෙන්න. ඒක හොඳ පුරුද්දක් වගේම ඔයාගේ අතින්වුණු වැරැද්ද ගැන හිතේ තියෙන කනස්සල්ල, දුක නැති කර ගන්න තියෙන හොඳම මාර්ගයක් තමයි අදාළ පාර්ෂවයන්ගෙන් සමාව ගැනීම.
3. අවංක වෙන්න
කිසිම වෙලාවක කිසිම කෙනෙකුට වංක වෙන්න එපා. වංචා කරන්න එපා. මොන දෙයින් බේරුනත් ඔයාගේ හදවතේ සාක්ෂියෙන් ගැලවෙන්න බැහැ. මම වංචාවක් කරා නේද කියලා හිත හිත ඔයාට හැමදාමත් දුක් වෙන්න පසුතැවෙන්න වෙයි. ඒ වගේ පසුතැවෙන්න වෙන දේවල් කරන්න පෙළඹෙන්න එපා. එහෙම වුනොත් ඔයාගේ සතුට නැති කර ගන්න හේතුව වෙන්නෙත් ඔයාමයි.
4. ත්‍යාගශීලි වෙන්න
දුන් දේ සුවඳයි කියලා කතාවක් අහලා ඇතිනේ. නැති බැරි කෙනෙකුට උදවු කරන්න දෙපාරක් හිතන්න එපා. ඔයාට හැකි විදියට ඒ අයටත් පිහිට වෙන්න. තව කෙනෙක්ට සතුටක් දීලා ඒ දිහා බලල සතුටු වෙන පුළුවන් උතුම් ගුණය හැමෝම ළඟ නැහැ. ඒ අයගෙන් කෙනෙක් වෙන්න ඔයාටත් පුළුවන් නම්. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න.
5. කියවන්න
කියවීම කියන්නේ ගොඩාක් වටිනා පුරුද්දක්. පොතක් කියවන්න පටන් ගන්නවා කියන්නේ ඉතාමත් හොඳ ආරම්භයක්. කවදාවත් ඉගෙනීම අත්හරින්න එපා. ජීවිතය ගැන, හැගීම් ගැන, මිනිස්සු ගැන, ලෝකය ගැන ඔයාට ගොඩක් දේවල් කියවීම තුලින් ඉගෙන ගන්න පුළුවන්, දැනුවත් වෙන්න පුළුවන්. සතුට තියෙන්නේ නිතරම අපිට සිනහවක් ගේන දේවල් මතම නෙවෙයි. කියවීම මිනිසා සම්පුර්ණ කරයි. අවසානයේ ලබා ගන්න ඕන ලොකුම සතුට ඒක නේද?