දරුවෙක් ජීවිතේට ආවම අපේ මුළු ලෝකයම වෙනස් වෙනවා. එදා ඉදන් අපි කරන කියන හැම දෙයක්ම කරන්නේ දරු පැටියව සතුටින් නිරෝගීව බලාගන්න. මොකද අපි දන්නවා අලුත ඉපදුන දරු පැටියට අපෙන් ලොකු ආරක්ෂාවක් රැකවරණයක් ඕනේ කියලා. මේ දවස් වල විසබීජ නිසා දරුවන්ට ඇතිවෙන ලෙඩ රෝගත් වැඩියි. ඉතින් මේ විසබීජ වලින් දරු පැටියව ආරක්ෂා කරගෙන නිරෝගීව එයාව බලා ගන්න අනිවාර්යෙන්ම ඔබ කල යුතු දේවල් ටිකක් ගැන තමයි අද අපි ඔබට කියන්න හිතුවේ.
1. දරුවාව සෙනඟ වැඩිපුර ඉන්න තැන් වලට ගෙනියන්න එපා
ඇත්තටම අපි දන්නවා ඔබ කැමතියි කියලා ඔබේ අලුත උපන් දරු පැටියව හැමෝටම වගේ පෙන්නන්න. හැබැයි මුල් මාස දෙක තුනේදී නම් ඔබේ දරුවාව නිවසේම තියාගෙන බලාගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. සෙනඟ වැඩිපුර ඉන්න උත්සව වලට, කඩ සාප්පු වලට, රෝහල් වලට ඔබ දරුවාව අරගෙන යනවා කියන්නේ දරුවට හානි කරන්න පුළුවන් විසබීජ ගොඩක් අතරට ඔබ දරුවාව ගෙනයනවා කියන එකයි. දරුවාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තවමත් අවට තියෙන විසබීජ වලට ඔරොත්තු දෙන විදිහට වර්ධනය වෙලා නැහැ. ඒ නිසා මේ කාලයේදී අපි දරුවාව නිවසේම තියාගෙන හොඳින් බලාගන්න එක තමයි වැදගත්.
2. පිරිසිදුකම ගැන නිතරම සැළකිලිමත් වෙන්න
දරුවා ලගට යන්න කලින් නිතරම දෑත් සෝදා ගන්න මතක තියාගන්න. ඒ වගේම තමයි දරුවා බලන්න ගෙදරට එන අයට වගේම පවුලේ අයටත් කියන්න දරුවාව අල්ලන්න කලින් හොඳට අත් සෝදාගන්න කියලා. ඔබ එහෙම කියන එකේ කිසිම වැරද්දක් නැහැ. මොකද මේ නිසා උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩ වලින් දරුවාව ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි පවුලේ කෙනෙක් අසනීප වෙලා ඉන්නවා නම් කියන්න සනීපය හොඳ වෙනකල් දරුවා ලඟට එන්න එපා කියලා.
3. මව්කිරි දීම නවත්වන්න එපා
ඔබට උණ හෙම්බිරිස්සාව වගේ රෝගයක් වැළදුන වේලාවට නිතරම දරුවාගෙන් ඈත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඔබ මවුකිරි දීම දිගටම කරගෙන යන එක ගොඩක් වැදගත්. මොකද මවුකිරි වලින් දරුවට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිදේහ ලබා දෙනවා.
4. එන්නත් නිවැරදි වේලාවට ලබාදෙන්න
දරුවෙක්ට මේ කාලයේදී ලබාදිය යුතු එන්නත් නිවැරදිව ලබාදෙන එක ඉතාමත් වැදගත්. ඒ නිසා කිසිම විදිහක අතපසු කිරීමක් කරන්නේ නැතුව නිවැරදි වේලාවට දරුවාට එන්නත් ටික ලබා දෙන්න.
5. දරුවට හොඳ නින්දක් ලබාදෙන්න
මේ වයසේ දරුවෙක්ට නින්ද කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. එය දරුවාගේ කායික වගේම මානසික වර්ධනයටත් ඉතා වැදගත්. දරුවට හොඳ නින්දක් ලබාගන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස් කරන්න. පවුලේ අනෙක් අයටත් කියන්න එයට උදවු වෙන්න කියලා. ඒ වගේම තමයි දරුවාව බලන්න එන අයවත් සිමා කරන්න.